කොන්ද පණ තියෙන හැටි පෙන්නීමට කාදිනල්ට ජනපතිගෙන් ප්‍රසිද්ධ ඇරියුමක් | VIDEO

Report
3Shares

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට නොහැකි වූ ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන නායකත්වයට කොන්ද පණ නැතැයි විවේචනය කළ කොළඹ කතෝලික අගරදගුරුවරයා ජනාධිපතිවරගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී සිටී.

සති අන්තයේ කටුවාපිටිය දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයකට සහභාගි වූ කාදිනල් වරයා විසින් නම් සඳහන් නොකර “අපේ නායකයන්ට කොන්ද පණ මදි” යනුවෙන් කළ විවේචනය තමන්ට සහ අගමැතිවරයාට කළ “හැංගිලා ගැහීමක්” ලෙස හැඳින්වූ ජනාධිපතිවරයා අගරදගුරු මැල්කම් රංජිත් නමින් හැඳින්වීමෙන් ද වැළකී සිටියේය. .

“හැංගිලා ගහන්න එන්න ඕනේ නෑ. මාත් එක්ක විවෘත සාකච්ඡාවකට එන්න කියලා මම විවෘතව ආරාධනය කරනවා. හැංගිලා ගහන අයට මාධ්‍ය ඉස්සරහ මම ආරාධනය කරනවා,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේ හමුදා සෙබළුන්ට සුබසාධන ප්‍රදානය කිරීම සඳහා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

“විදේශීය බලවේගවලට අත පොවන්න ඉඩ නොදෙන්න අපේ නායකයන්ගේ කොන්ද පණ මදි,” යි හෙලා දුටු කාදිනල් මැල්කම් රංජිත් හිමියන් “එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් සංවිධාන සතුටු කරන්න බුද්ධි අංශ අඩපන කර විනාශ කර දැම්මා,” යි රජය දෝෂ දර්ශනයට ලක් කර තිබුනි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ වගකීම කාදිනල් මැල්කම් රංජිත් විසින් ආණ්ඩුවට පැවරීම “දේශපාලන න්‍යාය පත්‍රයකට යටවීමක්” ලෙස කෝපයෙන් යුතුව ජනාධිපතිවරයා විසින් හෙලා දකින ලදී.

“ජනාධිපතිවරයාට, අගමැතිවරයාට නම කියන්නේ නැතිව, තනතුර කියන්නේ නැතිව, හැබැයි එල්ල කරන්නේ පිට කොන්ද නෑ කියලා දේශපාලන න්‍යාය පත්‍රයකට. ඒ දේශපාලන න්‍යාය පත්‍රය අතේ තියාගෙන තමයි අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය පිළිබඳව තීන්දු තීරණ දෙන්න හදන්නේ.”

තමන්ට විරුද්ධව විවේචන ගෙන එන්නේ “නොයෙකුත් අපරාධ කාරයෝ, මත්කුඩු කාරයෝ” සමග හවුල් වෙමින් බව ජනාධිපතිවරයා කාදිනල් මැල්කම් රංජිත්ට චෝදනාවක්ද එල්ල කළේය.