දෙමළ දේශපාලන සිරකාර උපවාසය දින නමයකට පසු අත්හරී | VIDEO

Report
4Shares

සිරදඬුවම් දෙකකට එරෙහිව අභියාචනා කිරීම සඳහා බන්ධනාගාරයෙන් පිටතට ගොස් සාක්ෂි රැස් කිරීම වෙනුවෙන් ඇප ලබාදෙන මෙන් ඉල්ලා මාරාන්තික උපවාසයක යෙදී සිටි දෙමළ දේශපාලන සිරකරුවෙක් අමාත්‍යවරයකුගේ මැදිහත් වීමකින් පසු සිය විරෝධතාව අත්හිටුවන්නට තීරණය කර තිබේ.

දින නමයක් තිස්සේ කිසිදු ඝන හෝ දියර ආහාරයක් ගැනීමෙන් වැළකී සිටි ජාතික චිත්‍රපට සංස්ථාවේ දෙමළ අංශයේ හිටපු අධ්‍යක්ෂ දේවදාසන් කනගසබේ සිය උපවාසය අත්හිටුවීමට එකඟවී ඇත්තේ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා සති දෙකක් තුලදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවට මනෝ ගනේෂන් අමාත්‍යවරයා පොරොන්දු වීමෙන් අනතුරුවයි.

මැගසින් බන්ධනාගාරයෙන් පිටතට ඒමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට කියා සිටියේ ඇමැතිවරයකු දෙමළ සිරකරුවන්ගේ ප්‍රශ්නයට මැදිහත් වන "මුල්ම අවස්ථාව" මෙය බවයි.

කෙසේවෙතත්, ආණ්ඩුව පත්වී මාස කිහිපයක් ඇවෑමෙන් එවක අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ දෙමළ ජාතික සන්ධාන නායකත්වය හා එක්ව බන්ධනාගාරයට ගොස් දෙමළ සිරකරුවන්ට යුක්තිය ඉටු කිරීමට පොරොන්දු වී මේ වන විට වසර හතරකට ආසන්න කාලයක් ගතවී ඇත.

දේවදාසන් සිරගත කොට තිබෙන්නේ බලහත්කාරයෙන් ලබාගත් පාපොච්චාරණයක් පදනම් කරගෙන පමණක් බව උතුරු නැගෙනහිර පදනම් කරගත් යුක්තිය හා සාමය කොමිසම පවසයි.

කොළඹ කොටුව දුම්රියපොළේ බෝම්බ පිපිරවීමක් සම්බන්ධයෙන් සැකපිට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන අත්අඩංගුවට ගන්නා ලද උපවාසකරුට අධිකරණය විසින් සිරදඬුවම් දෙකක් නියම කර තිබේ. එකක් ජීවිතාන්තය දක්වාය. අනෙක බරපතල වැඩ ඇතිව විසි අවුරුද්දකි.

බන්ධනාගාර ගතව සිටි ගලබොඩඅත්තේ ඥානසාර හිමි ජනාධිපති වරයා විසින් කිසිදු යුක්ති සහගත හේතුවකින් තොරව නිදහස් කර සිටියදී පාපොච්චාරණයක් පමණක් සාක්ෂියට ගෙන සිරගතකළ දෙමළ සිරකරුවකුට තම අභියාචනය සඳහා කරුණු රැස් කරගැනීමට ඇප ලබා නොදීමට හෝ මානුෂික පදනමකින් ඔහු නිදහස් කර නොයැවීමට හේතුව කුමක්දැයි යුක්තිය හා සාමය කොමිසම ප්‍රශ්න කරයි.

“ඒ පාපෝච්චාරණය ලබාගෙන තිබෙන්නේ වධහිංසා පැමිණවීමෙන්,” යයි කොමිසමේ ප්‍රධානී එස්වීබී මංගලරාජා පියතුමා යාපනයේදී මාධ්‍යවේදීන් අමතා කියා සිටියේය.

ආර්ථික දුෂ්කරතා නිසා නීතිඥයකුට කුලී ගෙවීමට හැකියාවක් නැතිකමින් දේවදාසන් කනගසබේට සිදුවී ඇත්තේ බන්ධනාගාරගතව හිඳිමින්ම තමන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටීම බව පියතුමා පවසයි.

“අවාසනාවන්ත දේ තමයි, එලියට ගිහින් සාක්ෂි ගොනු කරගන්න බැරි උණු නිසා ඔහුට හිර දඬුවම් දෙකකට යටත් වෙන්න සිදු උනා.”

පාපොච්චාරණ සාක්ෂියක් සේ සලකා නඩු විභාග කිරීමට අවසර දෙන ත්‍රස්තවාදය වැළක්වීමේ පනත නොවේ නම් හැට දෙහැවිරිදි දේවදාසන් නිදහස් වී හිඳිනු ඇති බවට මංගලරාජා පියතුමෝ විශ්වාස කරති.

“ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අයින් කරනවා කියලා කිහිප වතාවක් පොරොන්දු වෙලා තියෙන ආණ්ඩුව ඒක කරන්න කිසිම පියවරක් අරගෙන නෑ. පනත ඉවත් කළොත් ගොඩක් දේශපාලන හිරකරුවන්ට ඇප ලබා ගැනීමේ හෝ නිදහස් වීමේ අවස්ථාව උදාවෙනවා. මොකද ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ විතරයි වධහිංසා කර ලබාගන්නා පාපොච්චාරණ සාක්ෂි හැටියට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන්නේ.”

“මානව හිමිකම් රැකෙන ආකාරයෙන්” ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සංශෝධනය කරන බවට ආණ්ඩුව දී ඇති පොරොන්දු ඉටු නොකිරීම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු දෙස් විදෙස් මානව හිමිකම් සංවිධාන වල විවේචනයට ලක්ව සිටී.