වතු වලින් ලාබ නැතැයි කීම “විහිලු කතාවක්” | VIDEO

Report
4Shares

රුපියල් දහසක දිනක වැටුපක් ඉල්ලා අරගල කළ වතු කම්කරුවන්ට විසඳුමක් ලබා නොදී ලාබ නැතැයි කීම රජයට සහාය දෙන වාමාංශික නායකයකුගේ විවේචනයට ලක් වී තිබේ.

කම්කරුවන් ඉල්ලන වැටුප් ගෙවා වතු සමාගම් පවත්වාගෙන යා නොහැකි බවට ආණ්ඩුව නිදහසට දක්වන කරුනු නව සමසමාජ පක්ෂ නායකයා විසින් “විහිලු කතාවක්” ලෙස බැහැර කරන ලදී.

“මොන ධනපතියද මොන කොම්පැනි කාරයද අත දාලා ඔය වගේ වැඩකට බහින්නේ ලාබයක් ලබාගන්නේ නැතිව,” යි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න විමසුවේ කොළඹදී මාධ්‍යවේදීන් අමතමිනි.

“ලාබ ලබන්න බෑ හිඟන පඩියට වැඩ කරන්න කිව්වට කම්කරුවන්ට එක පිළිගන්න බෑ. ඒක විහිලු කතාවක්. ඇණ හිටින එක විතරයි වෙන්නේ.”

මහා පරිමාන වතු ලාබ සහිතව පවත්වාගෙන යා නොහැකි නම් වතුකරය නවීකරණය කළ යුතු බව නසසප නායකයාගේ අදහසයි.

වතුකරය මහ නගර සභා මට්ටමට දියුණු කිරීම සහ රජය මැදිහත් වී කම්කරුවන්ගේ පරිපාලනය සහිත කුඩා වතු පිහිටුවීම විසඳුම ලෙස ඔහු යෝජනා කරයි.

නසසප නායකයා වතු කම්කරුවන්ගේ දිනක රුපියල් දහසේ වැටුප් ඉල්ලීම සඳහා විසඳුමක් නිර්දේශ කළේ ශ්‍රී ලංකාවේ තේ පෝච්චියක් ලන්ඩනයේ බකිංහැම් මාලිගය අසල අවන්හලක රුපියල් ලක්ෂයකට වැඩි මුදලකට අලෙවි වීම පිළිබඳ ප්‍රවෘත්ති වාර්තා පලවී දින කිහිපයකට පසුය.

පීඑම්ඩී සිල්වා සමාගම විසින් අලෙවි කරනු ලබන එම තේ දළු විශේෂය නෙලාගනු ලබන බව පවසන මස්කෙලිය සාමිමලේ බ්‍රන්ස්වික් වතුයායේ කම්කරුවෝද දිනකට දහසේ වැටුප් අරගලයට එක්ව සිටිති.