දළදා පෙරහැරට නුවර යන කාන්තාවන් ගැන වැඩිපුර හමුදා සෝදිසියක් | VIDEO

Report
2Shares

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව පැවැත්වෙන පළමු දළදා පෙරහැරට සහභාගි වීම සඳහා කන්ද උඩරටට පැමිණෙන දෙස් විදෙස් ජනකාය සම්බන්ධයෙන් කෙරෙන පොදු පරීක්ෂාවට අමතරව කාන්තාවන් අමතර වශයෙන් සෝදිසි කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව තීරණය කර තිබේ.

ඒ සම්බන්ධ තොරතුරු හෙළිදරව් වූයේ අගෝස්තු 7 ඉරිදායින් ආරම්භ වන ඇසළ පෙරහැර සඳහා යොදවා තිබෙන ආරක්ෂක වැඩ පිළිවෙල විස්තර කිරීම සඳහා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ සහ අගමැති වරයාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍යවේදීන් කැඳවා මහනුවර පවත්වන ලද විශේෂ රැස්වීමකදීය.

පොලිසිය හා එක්ව මාර්ග බාධක යෙදවීම මෙන්ම නිවාස පරීක්ෂාවද දැනටමත් ආරම්භ කර ඇති බව මහනුවර ආරක්ෂාව භාරව කටයුතු කරන පල්ලෙකැලේ 11 වැනි සේනාංකයේ අණදෙන නිලධාරියා එහිදී දැනුම් දී සිටියේය.

“විශේෂයෙන් කාන්තාවන් පරීක්ෂා කිරීම වැඩිපුර සිද්ධ කරන්න කියලා යුද හමුදාපති තුමාගෙන් නියෝගයක් නිකුත් වෙලා තියෙනවා,” යි මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර මහනුවර කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී ප්‍රකාශ කළේය.

ඒ සඳහා යුද හමුදා කාන්තා බලකායේ විශාල පිරිසක් යොදවන්න කටයුතු කරලා තියෙනවා. ඒත් එක්කම බුද්ධි රාජකාරි සඳහා සිවිල් ඇඳුමින් ජනතාව අතරේ ගැවසෙන්නට විශාල පිරිසක් සුදානම් කරලා තියෙනවා.”

කාන්තාවන් සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂක විධිවිධාන යෙදවීමේ හේතුව 11 වැනි සේනාංකාධිපතියා පැහැදිලි කළේ නැත.

ඇසළ පෙරහැර රාජකාරියට පොලිසියෙන් යොදවනු ලබන හයදහස් පන්සියයක බල ඇණියට අමතරව 1500 කට අධික යුද හමුදා භට පිරිසක් යොදවනු ලබන බව මධ්‍යම පළාත භාර ප්‍රධාන පොලිස් නිලධාරියා විසින් සභාවට දැනුම් දෙන ලදී.

පෙරහැර සීමාවට ඇතුල් වන සැම දෙනාමත් සෝදිසි කරනු ලබන අතර සියලුම රථවාහන යුද හමුදාව විසින් පරීක්ෂා කරනු ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ කියා සිටියේය.

“මේක සාමකාමී නගරයක ඉතා සාමකාමී ලෙස පවත්වන පෙරහැරක් විදියට තමයි අපි ලෝකයට ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වෙන්නේ.”

සැක සහිත ස්වාමීන්වහන්සේලා සම්බන්ධයෙන් පියවර ගැනීම භික්ෂුන් වහන්සේලාටම පවරා තිබෙන අතර ඇතුන් සහ ඇත්ගොව්වන් පෙරහරට සම්බන්ධ වීමේ යෝග්‍යතාව පරීක්ෂා කිරීමද ආරක්ෂක වැඩ පිළිවෙළේ අංගයක් කොටගෙන ඇති සැටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් විස්තර කරන ලදී.

මහනුවර ඇසළ පෙරහැරට සහභාගී වීමට අපේක්ෂා කරන දෙස් විදෙස් සංචාරකයන්ගේ බිය දුරු කිරීමේ අපේක්ෂාවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ දැනුම් දී සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන 200 කට අධික සැමදෙනාම මේ වනවිට රැඳවුම් නියෝග යටතේ සිරගත කොට ඉන්නා බවයි.