නීතිඥ පිරිසක ජාතිවාදී චර්යාව ගැන මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් ඉල්ලයි | VIDEO

Report
3Shares

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් පසු මුස්ලිම් විරෝධී ආකාරයෙන් උසාවි කටයුතු සිදුකළ වයඹ පළාතේ නීතිඥවරුන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලා සිටී.

එයින් ඇතැමකු මුස්ලිම් සැකකරුවන් වෙනුවෙන් පෙනී හිඳීම ප්‍රතික්ෂේප කිරීමේත්, තවත් පිරිසක් ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සැක කෙරෙන කණ්ඩායමකට ඇප නොදීමට එරෙහිව විරෝධතා පැවැත්වීමේත් “වෘත්තියට නොගැලපෙන, ආචාරධර්ම විරෝධී” චර්යාවක නිරත වී ඇති බව මානව හිමිකම් කොමිසම විසින් නීතිඥ සංගමයේ සභාපති කාලිංග ඉන්දතිස්සට ලිඛිතව පැමිණිලි කර ඇත.

“අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අත් අඩංගුවට ගන්නා ලද මුස්ලිම් ජාතිකයන් හය දෙනකු වෙනුවෙන් පෙනී හිඳීම මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට නිතිපතා සහභාගි වන නීතිඥයන් විසින් ප්‍රතික්ෂේප කිරීම එක අවස්ථාවක් ලෙස දැක්විය හැකියැ,” යි කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම විසින් යවන ලද ලිපියක සඳහන් වෙයි.

“ඇත්ත වශයෙන්ම, ඇප ඉල්ලා සිටීමේ සීමිත කටයුත්තට (මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥයකුගේ ඉතා සාමාන්‍ය රාජකාරිය) පෙනී හිඳීමට පිටතින් පැමිණි නීතිඥවරියක් එකඟ වූ අවස්ථාවේ, නිතිපතා එන නීතිඥයන් ඇයට බරපතල ලෙස එදිරිවාදිකම් පා තිබේ. ඉතිරි සැකකරුවන් දෙදෙනා (හතර දෙනකු නිදහස් කරන ලදී) වෙනුවෙන් පෙනී සිටින්නේ සාමාන්‍යයෙන් මාරවිල අධිකරණයේ රාජකාරි නොකරන නීතිඥවරුන් විසිනි.”

මාරවිල නීතිඥ සංගමය මුස්ලිම්වරුන්ට හතුරුව කටයුතු කරන ආකාරය එළිදරව් වූ පළමු අවස්ථාව එය නොවේ.

නාත්තන්ඩිය ප්‍රදේශයේ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් හදිසි නීතිය යටතේ මැයි මාසයේදී අත්අඩංගුවට ගන්නා ලද සැකකාර පිරිසක් වෙනුවෙන් කිසිදු ගාස්තුවක් අය නොකර “සිංහල බෞද්ධ”පදනමකින් අධිකරණයේ පෙනී සිටීමට මාරවිල නීතිඥ සංගමය තීන්දු කළ බව එහි සභාපති ලලන්ත සරත්චන්ද්‍ර ප්‍රසිද්ධියේ කියා තිබුනි.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත හෝ හදිසි නීතිය යොදාගෙන අප්‍රේල් 21 දායින් පසු චෝදනාවට ලක්වූ කිහිප දෙනකුම වෙනුවෙන් පෙනී සිටීම ප්‍රදේශබද නීතිඥවරුන් විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා චුදිතයන්ට විශාල වියදමක් දරා පිටින් නීතිඥයන් ගෙන්වීමේ රටාවක් රටේ පළාත් කිහිපයකින්ම වාර්තාවී ඇති බව ආචාර්ය උඩගම පෙන්වා දෙයි.

මැයි 13 දා රටේ ඇතැම් පලාත්වල සිදුකරන ලද ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවලට හවුල්වූ බවට සැක කොට අත්අඩංගුවට ගන්නා ලද පිරිසකට ඇප නොදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවක නිකවැරටිය නීතිඥ සංගමය ඊට එරෙහිව විරෝධතා දැක්වූ බව ද මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය නීතිඥ සංගම් සභාපති වරයාට පැමිණිලි කර තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින සැකකරුවන් වෙනුවෙන් පෙනී නොසිටීමට කිසිදු ප්‍රාදේශීය නීතිඥ සංගමයක් නිල වශයෙන් තීන්දු කොට නැති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් මානව හිමිකම් කොමිසමට දැනුම් දී තිබේ.

එසේ වෙතත්, ප්‍රාදේශීය නීතිඥ සංගම් සාමාජිකයන් විසින් සිදුකරනු ලබන එම වෘත්තියට නොගැලපෙන, ආචාරධර්ම විරෝධී ක්‍රියා සම්බන්ධ වාර්තා පිළිබඳව ගැඹුරින් පරීක්ෂණ පවත්වා නිසි පියවර ගන්නා මෙන් මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලා සිටී.

ජනමාධ්‍ය සහ භික්ෂුන් ප්‍රධාන සිංහල බෞද්ධ අන්තවාදීන් විසින් නගන ලද චෝදනා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා ලද කුරුණෑගල මුස්ලිම් වෛද්‍යවරයකු වන දොස්තර ශාෆි සේගු ශිහාබ්දීන් සම්බන්ධයෙන් කුරුනෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් ක්‍රියාකළ ආකාරය පිළිබඳ පරීක්ෂණයක් ඉල්ලා තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය අධිකරණ සේවා කොමිසන් සභාවට පැමිණිල්ලක්ද කර තිබේ.