මුස්ලිම්වරුන් ඇමැති කම් බාර ගැනීම මාධ්‍යවේදීන්ට ප්‍රශ්නයක් | VIDEO

Report
4Shares

මාස දෙකකට ඉහතදී ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන් නැවත ආණ්ඩු පාලනයට හවුල් වීම මාධ්‍යවේදීන් පිරිසකට ගැටළු මතුකර තිබේ.

ජුලි 30 දා කැබිනට් මණ්ඩල රැස්වීම හමාර වී පැමිණි ගාමිණි බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය වරයාගෙන් මාධ්‍යවේදීන් විසින් දිගින් දිගටම ප්‍රශ්න කරන ලද්දේ ඊට පෙර දිනයේ මුස්ලිම් අමාත්‍යවරු දිවුරුම් දීම යුක්ති සහගත භාවය පිළිබඳවයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මුස්ලිම් දේශපාලකයන් කිහිප දෙනකුට චෝදනා නගමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රතන හිමියන් උපවාසයක් ආරම්භ කිරීමෙන් අනතුරුව ඉල්ලා අස්වූ අය අතරින් රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, අමීර් අලි සෙයිඞ් මොහොමඩ් සිහාබ්දන්, ෆයිසාල් කාසීම් සහ අබ්දුල්ලා මහරුෆ් ජූලි 29 දා ජනාධිපතිවරයා හමුවේ දිවුරුම් දුන්හ.

මාධ්‍යවේදීන්ට ප්‍රශ්නයක් වී තිබුනේ ඒ දිවුරුම් දීමයි.

“ඔබතුමාගේ හිතට එකඟව සාධාරණද මුස්ලිම් ඇමතිවරු ඊයේ වැඩ භාරගැනීම,” යි ඔවුන්ගෙන් අයෙක් අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරාගෙන් ප්‍රශ්න කළහ.

බුද්ධශාසන අමාත්‍ය වරයා එම විමසීම බැහැර කළේ ජාති, ආගම් හා කුල වශයෙන් බෙදා වෙන්කිරීමෙන් රට විනාශයට පත්වන බව පවසමිනි.

“මහනායක හාමුදුරුවරු ආරාධනය කළා නම්, ඇයි මොකක්ද මේ සිංහල, මුස්ලිම්, දෙමළ කියලා ලංකාවේ මේවා කරන්න බෑ,” යි ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා කියා සිටියේය.

මුස්ලිම් අමාත්‍යවරුන් දිවුරුම් දුන්නේ, ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වූ බවට රිෂාඩ් බදියුදීන් ට විරුද්ධව නගා තිබූ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් සිදුකළ පරීක්ෂණයකින් ඔහු නිදහස් කර ඇති බව වැඩ බලන පොලිස්පතිවරයා දැනුම් දී ඇතැයි පාස්කු ප්‍රහාරය පිළිබඳව විභාග කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශයට පත් කළ දිනයේය.

ජනමාධ්‍යයේ සහ පාර්ලිමේන්තුවේ විවිධ චෝදනා නැගීමෙන් වැළකී ඒ සම්බන්ධයෙන් නිසි ආයතන වලට පැමිණිලි කරන ලෙස ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට ආරාධනා කළේය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සමග හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම් එල් ඒ එම් හිස්බුල්ලාට ඉල්ලා අස්වීමට බලකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසයක් වෛර සහගත, කුපිතකාරී කැළඹීමකට මග පෑදීමේ අවදානම හමුවේ සියලුම මුස්ලිම් අමාත්‍යවරු සිය පදවි අතහැර දමන්නට තීරණය කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් විසින් ඉන් අනතුරුව අස්ගිරි, මල්වතු මහනාහිමි දෙනමට පහදා දී තිබුනි.