සිංහලයකු ත්‍රස්තවාදී ලැයිස්තුවට දැමීමට එරෙහිව උතුරේ විරෝධතා | VIDEO

Report
3Shares

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන වලට එරෙහිව වසර ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ මැදිහත්වීම් කරමින් සිටින ක්‍රියාධරයකු ‘ත්‍රස්තවාදී’ ලෙස සලකා රජය විසින් තහංචි පැනවීමට එරෙහිව උතුරේ විරෝධතා පවත්වා තිබේ.

නව ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ ගේ අත්සනින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයකින් ජර්මනිය මුලස්ථාන කොටගත් ජාත්‍යන්තර මානව හිමිකම් සංගමයේ (IHRA) ප්‍රධානී විරාජ් මෙන්ඩිස් තහනම් පුද්ගලයකු ලෙස නම් කර ඇත.

එම තහනම වහාම ඉවත් කරගන්නා ලෙස රජයට බලකරමින් යාපනය නගරයේ පැවති විරෝධතාවකදී “යුද අපරාධ හෙළිකළ විරාජ් මෙන්ඩිස් ත්‍රස්තවාදියකුදැ,” යි අසන සටන් පාඨ හඬ නැගුනු බව ගගන වාර්තාකරු පවසයි.

දෙමළ ජාතික ජනතා සන්ධානය විසින් මෙහෙයවන ලද විරෝධතාවට නායකත්වය දුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේ රාජ්‍ය අපරාධකාරිත්වය ලොවට හෙළිකරන මානව හිමිකම් ක්‍රියාධාරීන් දඩයම් කිරීම ආණ්ඩුවේ අරමුණ වී ඇති බවයි.

සිංහල තරුණ තරුණියන් හැට දහසකට වැඩි සංඛ්‍යාවක් ඝාතනය කරමින් මර්දනය කරන ලද 80 අග භාගයේ දෙවැනි ජවිපෙ කැරැල්ල සමයේ පටන් විරාජ් මෙන්ඩිස් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන වලට විරුද්ධව හඬ නැගුවෙකි.

අඩුම වශයෙන් හැත්තෑදහසක් නිරායුද වැසියන් ඝාතනය කළ බවට ගණන් බලා ඇති උතුරේ යුද්ධයෙන් අනතුරුව එහි සිදුවූ අපරාධ විභාග කරන ජාත්‍යන්තර මහජන විනිශ්චය සභා දෙකක් යුරෝපයේ සංවිධානය කෙරුනේ විරාජ් මෙන්ඩිස්ගේ මූලිකත්වයෙනි.

එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් සහ ජගත් කීර්තිධර විනිසුරුවන් සහභාගි වූ අයර්ලන්තයේ ඩබ්ලින් විනිශ්චය සභාව විසින් තීන්දු කරන ලද පරිදි ශ්‍රී ලංකා රජය විසින් දෙමළ ජනතාවට එරෙහිව දියත් කරන ලද්දේ වර්ග සංහාරයකි.