ක්‍රිකට් බලය බෙදාහැරීම හා ජාතිවාදය පසුබැස්සීම ගැන මහේල සමග කතාබහක් | VIDEO

Report
9Shares

බලය විමධ්‍යගත කිරීම ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයන් ඇතුළු මුල් පෙලේ ක්‍රීඩකයන් විසින් ක්‍රීඩා බලධාරීන්ට භාර දී ඇති දිවයිනේ ක්‍රිකට් නගා සිටුවීම සඳහා වන සැලසුම් අතර ප්‍රමුඛස්ථානයක් ගෙන තිබේ.

ක්‍රිකට් තරු පෙළක් සමග හවුලේ ජූලි මාසයේ ඉදිරිපත් කරන ලද එම යෝජනා වත්මන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්ඩියන්ස් පිලේ ප්‍රධාන පුහුණුකාර මහේල ජයවර්ධන හෙළිකළේ ලන්ඩනයේ හයිඩ් පිටියේදී ගගන සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

“කොළඹට මධ්‍යස්ථව කේන්ද්‍රගතව තියෙන ක්‍රිකට් එක අපි ගමට ගෙනියන්න ඕනේ. ඒ පළාත් වලට ගෙනියන්න ඕනේ. ඒකට ඒ අවශ්‍යකරන පහසුකම් සහ බලය ඒ අයට ලබා දෙන්න ඕනේ.”

එමගින් පළාත්බද පාසල් වල ක්‍රිකට් ක්‍රීඩාවත් ඉහළ නංවා ගත හැකි වනු ඇති බවට ටෙස්ට් තරග ඉතිහාසයේ ලකුණු දසදහසේ සීමාව ඉක්මවූ මුල්ම ලාංකික පිතිකරු මහේල විශ්වාසය පළකරයි.

කුමාර සංගක්කාර, රොෂාන් මහානාම, අරවින්ද සිල්වා සහ සිදත් වෙත්තමුනි සමග එක්ව කෙටුම්පත් කළ සැලසුම් අඩංගු ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට බාර දීමෙන් අනතුරුව මහේල ජයවර්ධන කියා සිටියේ “මෙවැනි දෙයකට සම්බන්ධ වන අන්තිම වතාව” එය බවයි.

ඔහුගේ ඒ කලකිරීමට හේතු වී තිබුනේ බලධාරීන්ට මීට ඉහතදී දෙන ලද යෝජනා හමස් පෙට්ටියට වැටී තිබුනු බැවිනි.

දුෂ්කරතා මැද වුවද දකුණේ පළාත් බද ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර පිටියට පිවිසීමට වරම් ලබා ගෙන ඇත්තේ මහත් දුෂ්කරතා විඳ අගනුවරට පැමිණීමෙනි.

“ලසිත් මාලිංග ගාල්ලේ හිටියා නම් ලසිත් මාලිංගට ලංකාවට සෙල්ලම් කරන්න හම්බ වෙන්නේ නෑ. සුරංග ලක්මාල් හම්බන්තොට හිටියා නම්, සුරංග ලක්මාල්ට ලංකාවට සෙල්ලම් කරන්න හම්බවෙන්නේ නෑ.”

උතුරු නැගෙනහිර ක්‍රිකට්

යුද්ධය හමාරවී දශකයක් ගතවීත් උතුරු නැගෙනහිරින් කිසිවකු ශ්‍රී ලංකා පිලට එක්ව නැතිවීම ද අපේ කතාබහට විෂය විය.

ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා පහසුකම් කෙසේ වෙතත් පළමු පෙළ ක්‍රීඩා පිටි හෝ නොමැතිවීම උතුරු නැගෙනහිර ක්‍රීඩකයන්ට ඉදිරියට ඒමට ඇති විශාල බාධාවක් බව මහේල ජයවර්ධන පෙන්වා දෙයි.

“දඹුල්ල ක්‍රීඩාංගනය අපිට උතුරු නැගෙනහිර වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් ජාත්‍යන්තර විදියට, මොකද එතන පුහුවීම් පහසුකම් තියෙන හින්දා. නමුත් පළමු පෙළ පහසුකම් තියෙන ක්‍රීඩාංගනයක් දෙකක් ඒ පැතිවලට ලැබෙන්න ඕනේ. ත්‍රිකුණාමලයටත් එහෙම පහසුකම් නැහැ.”

පාස්කු ඉරිදා බෝම්බ මාලාවේ විනාශයත් ඉන් අනතුරුව සිදුවූ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියාත් සම්බන්ධයෙන් මහේල ජයවර්ධන සිය කම්පාව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පල කර තිබුනි.

කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ ජාතිවාදීන් ඉන්නේ “ඉතාම අතලොස්සක්” බව හිටපු ශ්‍රී ලංකා පිලේ නායකයාගේ විශ්වාසයයි.

“මං හිතන්නේ නෑ, ශ්‍රී ලංකාව ජාතිවාදී රටක් කියලා. අපි මේ ප්‍රශ්නෙදි ටිකක් වියත්ව හිතන්න පුරුදු වෙන්න ඕනේ. හැමදේම සෝෂල් මීඩියා වලින් බලනවා ඇරෙන්න තමන්ම හිතන්න ඕනේ ඇයි මේ දේ වෙන්න ඕනේ කියලා. මොකක් සඳහාද කියන එක.”

ඉතා කුඩා ප්‍රතිශතයක් වන ජාතිවාදීන් පරාජය කිරීමේදී රටේ බහුතරය වන සිංහල ජාතියට “අනිවාර්ය වගකීමක්” පැවරෙන බව මහේල ජයවර්ධන අවධාරණය කළේය.

සංවාදය: චන්දන කීර්ති බංඩාර | පා නඩේසන් | නල්ලයියා දයානන්දන්