කොළඹ ගොඩගැසුන කසළ ඉවත් කිරීම ඇරඹෙයි

Report
5Shares

කොළඹ නගරයේ ගොඩගැසී ඇති කසළ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ වී ඇත.

මෙසේ කසල ගොඩ ගැසී දුර්ගන්ධයක් පැතිරීමත් සමඟ ජනතාව දුෂ්කරතාවයට පත්ව සිටියහ.

කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසා සිටියේ කොළඹ ගොඩගැසුන කසළ ඊයේ දින සිට පුත්තලම අරුවක්කාලු කසළ අංගනයට රැගෙන යාමට කටයුතු කරන බවයි.

ඒ අනුව කොළඹ මහනගර සභාවේ කසළ මෙට්‍රික් ටෝන් 150ක් පමණ මේ වන විට පුත්තලම-අරුවක්කාලු කසල අංගනයට රැගෙනවිත් ඇති බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍යංශයේ සමාජ විශේෂඥ නිමල් ප්‍රේමතිලක මහතා සඳහන් කළේය.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් පසුගිය 05 වැනිදා සිට වත්තල- කෙරවළපිටිය කසල අංගනයට කසළ බැහැර කිරීම නතර කිරීමත් සමඟ කොළඹ මහා නගර සභා බල ප්‍රදේශය තුළ කසළ එක් රැස් වූයේ බරපතළ අර්බුදකාරී තත්ත්වයක් මතු කරමිනි.

ඒ අනුව එම අර්බුදය පිළිබඳ තතු සොයා ගිය අප "ගගන" මාධ්‍යවේදීන්ට ඊයේ දිනයේදීත් කැමරාවට හසු කර ගැනීමට හැකි වූයේ කොළඹ නගරයේ තැන තැන ගොඩගැසී තිබූ කසළ ගොඩවල්ය.

මහත් දුර්ගන්ධයක් සමඟ අවට සැරිසරන ජනයා සහ ජීවත්වන ජනයා විවිධ වූ අසීරුතාවයන්ට පත්වෙමින් මැසිවිලි නගන්නට වූයේ ඉදිරියේදී කොළඹ නගරය මෙලෙස අපවිත්‍ර වීම බලා සිටිනු නොහැකි වීම නිසාවෙන් සහ බලධාරීන් ඊට නිසි විසඳුම් ලබා නොදෙන්නේ මන්දැයි අප මාධ්‍යවේදීන් හමුවේ විමසා සිටිමින්ය.

මෙම අර්බුදයේ ගැටළුකාරී තත්ත්වය රටටම පෙන්වාදෙමින් ඊට කඩිනම් විසඳුම් ලබා දීම උදෙසා අදාළ බලධාරීන් වෙතට මෙම ගැටළුව ප්‍රායෝගිකව යොමු කළ අප මාධ්‍යවේදී කණ්ඩායමේද උත්සහය සාර්ථක වූවා කිවතොත් නිවැරදියි.

වීඩියෝව පහතින්..