මහියංගනයේ කිතුනු විරෝධී ප්‍රහාරයට සැක භික්ෂුන් නිදැල්ලේ | VIDEO

Report
9Shares

කනිෂ්ඨ පූජකවරයකුට පහරදුන් බෞද්ධ භික්ෂු කණ්ඩායමක විස්තර අගමැතිවරයාටත් ලබා දී තිබියදී පොලිසිය කිසිවකුත් අත් අඩංගුවට ගෙන නැති වීම ගැන මෙතෝදිස්ත සභාව මහත් කනස්සල්ලට පල කරයි.

මහියංගනයේ නිවසකදී ඉරිදා දේව මෙහෙය පැවැත්වූ දේවගැති තුමාගේ හිසට, බඩට සහ කොන්දට භික්ෂුන් කුරිරු ලෙස බැට දුන් බවට හසලක පොලිසියට පැමිණිලි දෙකක් කර ඇති අතර ශ්‍රී ලංකාවේ මෙතෝදිස්ත සභාවේ මහනාහිමි විසින් අගමැතිවරයාට ලිඛිත පැමිණිල්ලක්ද ලබා දී තිබේ.

මිනිපේ, මොරයාය ශී‍්‍ර නාගවනාරාමාධිපති කලවල සුජාත හිමියන් කැටුව පැමිණි දෙහිගොල්ල රතන හිමි ඇතුළු භික්ෂුන් තිදෙනකු ප්‍රහාරයට එක්වූ බව පැමිණිළි වල සඳහන් වෙයි.

සාපරාධී කටයුත්තක් සිදුවී තිබියදීත් කිසිවකුත් අත් අඩංගුවට ගෙන නැතිවීම ගැන ශ්‍රී ලංකාවේ මෙතෝදිස්ත සභාවේ අගරදගුරු තුමන් කතාකළේ මහත් කම්පාවෙනි.

“කිතුනුවන් වන අපට ඇයි මේ කුඩම්මාගේ සැලකිලි?” යි අගරදගුරු ආසිරි පෙරේරා පියතුමා විමසයි.

“බෞද්ධ සිද්ධස්ථානයක සිටින අපේ ගරු භික්ෂුන් වහන්සේ කෙනෙකුට කවුරු හරි පහර දුන්නොත්, පොලිසිය අහක බලාගෙන ඉන්නවාද? පහර දුන්නු පුද්ගලයාව කෙලින්ම අත් අඩංගුවට ගන්නේ නැතිව ඉන්නවාද? එහෙම දෙයක් වෙන්නේ නෑනේ?”

ප්‍රහාරයට ලක්වූ 32 හැවිරිදි වේදමුත්තු ජෙසුදාසන් සහෝදර තුමා වතුපිටිවල රෝහලට ඇතුල්වී ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.

මීට තුන්මාසයකට වැඩි කලකට ඉහතදී අනුරාධපුරයේ කූඹිච්චන්කුලමේ ආබාධිතයන්ට සහන සැලසීම අරමුණු කොටගත් මෙතෝදිස්ත යාඥා ගෘහයකට ගොක් ඉරිදා පහරදුන් ක්‍රිස්තියානි විරෝධීන් අතරින් කිසිවකුත් සම්බන්ධයෙන් ද මේතාක් කිසිම නීතිමය පියවරක් ගෙන නැති බව උන්වහන්සේ පෙන්වා දෙති.

මේ අවුරුද්දේ ගතවූ හත් මාසය තුල කිතුනු විරෝධී ප්‍රහාර හැටකට වඩා සිදුකොට ඇති බව ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය වාර්තා කරයි.

ක්‍රිස්තියානි වන්දනාස්ථාන වලට සංවිධානාත්මකව පහර දීම දස වසරක පමණ කාලයක් තිස්සේ සිදු කෙරෙන්නක් බව පවසන ආසිරි ප්‍රනාන්දු අගරදගුරුතුමානෝ මහියංගන ප්‍රහාරයට පැමිණි භික්ෂුන් සහ සංවිධාන සොයා නීතිමය පියවර ගැනීමේ වගකීම පොලිසිය සතු බව අවධාරණය කරති.

ඒ තොරතුරු දැනගත් පසු ඒ පිළිබඳව බෞද්ධ මහනාහිමිවරුන් මුණගැසී දැනුවත්කිරීමේ අපේක්ෂාවද මෙතෝදිස්ත අගරදගුරුතුමන් වෙතින් පලවිය.

ශ්‍රියාන් සුජිත්