ගෝටාට ශ්‍රී ලංකාව බාර දුන්නොත් "රට කම්මුතුයි" | VIDEO

Report
4Shares

ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් යෝජනා කරනු ලබන අපේක්ෂකයා බලයට පත් වුවහොත් රට විනාශ මුඛයට යන බවට අගමැතිවරයා අනතුරු අඟවයි.

පොහොට්ටුවේ ජනාධිපති නාමයෝජනාපේක්ෂිත ගෝඨාභය රාජපක්ෂ “ටර්මිනේටරයෙක් හෙවත් කම්මුතු කරන්නෙක්” ලෙස බැසිල් රාජපක්ෂ විසින් මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ රටට අවශ්‍ය අනාගතය කම්මුතු කරන්නෙකු නොව, අනාගතය සුරක්‍ෂිත කරන්නෙකු බවයි.

“එවැනි කම්මුතු කරන්නෙකු බලයට පැමිණියොත් ආර්ථිකය කම්මුතුයි. සංවර්ධනය කම්මුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය කම්මුතුයි. මාධ්‍ය නිදහස කම්මුතුයි. ස්වාධීන අධිකරණය කම්මුතුයි. නිදහස් අධ්‍යාපනය කම්මුතුයි. නගර දියුණුව කම්මුතුයි, සෞඛ්‍ය ක්ෂේත්‍රය කම්මුතුයි. ඔබේ ජීවිතය ඔබ කම්මුතු කරනවාද, මේ රටේ අනාගතය කම්මුතු කරනවාදැ,” යි රනිල් වික්‍රමසිංහ විමසා සිටියේ කොළඹ, කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ගේ හමුවක් අමතමිනි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට තරග වදින බවට ඊට පෙරදා කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ ඉඟි පලකළ බැසිල් රාජපක්ෂ කියා තිබුනේ “ප්‍රජාතන්ත්‍රවාදියකු මෙන්ම දුෂණයට වංචාවට එරෙහි නාශකයකු ද” ඡන්දයට ඉදිරිපත් කරන ලෙස තම පක්ෂය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටි බවයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයන් තරග වදිනු ඇත්තේ සන්ධාන තුනකින් බවට අගමැතිවරයා අරලියගහ මන්දිරයේදී විශ්වාසය පල කළේය.