''මේ මොහොතේ මිනිස් ජීවිත උත්ප්‍රාසාත්මකව ද්‍රව්‍යකරණය වෙනවා.'' -ඉසුරු චාමර සෝමවීර

Report
8Shares

ප්‍රවීන කවියකු සහ කෙටිකතාකරුවකු වන ඉසුරු චාමර සෝමවීරගේ දෙවැනි කෙටිකතා සංග්‍රහය වන ‘ගැහැනු පිරිමි මල් පලතුරු’ කෘතිය පදනම් කරගත් සහෘද සංවාදයක් අගෝස්තු මස 14 වැනිදා පස්වරු 3.30 නුගේගොඩ විජේරාමයේ ‘රෝයල් තැප්‍රොබේන්’ පරිශ්‍රයේදී පැවැත්වේ. 'ගගන' මෙම සංවාදය පවත්වන්නේgrantha.lk’ විසින් සංවිධානය කෙරෙන මෙම සංවාදය නිමිති කරගෙන ය.

ඉසුරු චාමර ග්‍රන්ථකරණයට පිවිසු‍ණේ 2005 වසරේදී සුද කාව්‍ය සංග්‍රහය පළකරමිනි. ඉන් පසු ඔහු පිළිවලින් 2011දී තාණ්ඩවසහ 2016දී ‘අප දෙදෙන මැද මහ මුහුද’ මැයෙන් විශිෂ්ඨ කාව්‍ය කෘති දෙකක් පළ කළේ ය. ඉසුරු 2013 දී පළ කළ ‘මලක් කතා කරයි’ කෙටි කතා කෘතිය විශාල පාඨක විචාරක අවධානයක් දිනා ගත් කෘතියක් වූ අතර එය 2014 වසරේ දී විශිෂ්ඨතම කෙටිකතා කෘතිය ලෙස,ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.

'ගැහැණු පිරිමි මල් පළතුරු' කියන නම සංකේතීයයිද? ඇයි පොතට මෙහෙම නමක්?

මගෙ පොතේ කතාවල නම් බැලුවොත් ටිකක් සරල නම් සාන්ත, නිල් මල් ගවුම, සුදු අයියා, ඌ, පෙරේරා මහත්මිය වගේ. ඉතින් ඒ කතා වල නම් අතරින් පොතේ නමට වඩා සුදුසුයි කියලා හිතුනෙ ගැහැනු පිරිමි මල් පලතුරු. අනික පොතේ එන කතාත් අපි සහ අපිට එදිනෙදා මුණගැහෙන ගෑනු පිරිමි ගැන. සමහරවිට මේ මොහොතේ මිනිස් ජීවිත උත්ප්‍රාසාත්මකව ද්‍රව්‍යකරය වෙනවා. ගෑනු ගෙඩිය වෙනවා, බඩුව වෙනවා, ගෙදර එක වෙනවා, මං මේකේ ඒ සමහර පැති අල්ලන්න උත්සහ කරනවා. පොතේ එකතු වෙච්චි කතා අතරින් මට වඩා හිත් ගත්තු සහ සමස්තයට ගැලපෙයි කියලා මට හිතුනු නම තමයි ඒ.


මේ කෙටි කතා පොත සහ ‘මලක් කතා කරයි’ පිළිබඳ ඔබේ ස්වයං සංසන්දනය මොන වගේද?

ම්ම්ම්.... ටිකක් අමාරු ප්‍රශ්නයක්. මේක 'මලක් කතා කරයි' පොතට වෙනස්. මම මගෙ පාඨකයෙක් හැටියට බැලුවොත් මේ පොත 'මලක් කතා කරයි' ට වඩා භාෂාත්මකව සරලයි. ඒ වගේම මං දේවල් දිහා බලන හැටි සහ ඒවා බාරගන්න හැටිත් ටිකක් වෙනස් වෙලා ඇති. 'මලක් කතා කරයි' සමහර කතා චුට්ටක් භාවාතීශයයි කියලා දැන් මට හිතෙනවා. 'කළු කුමරයා' වගේ කතාවක ඒ සිද්දි දිහා බලන හැටි ටිකක් නරුමයි. ඒත් මං ඒ කතා ටිකට ආදරෙයි. ඒකෙ සමහර කතා ආයෙ මොනම හැටියකින්වත් වෙනස් කරන්න හිතෙන්නෙ නැහැ. ඒකෙ 'කිරාංචි', 'ආදරණිය නිමාලි', 'මගේ මාළුවා' වගේ කතා වලට මම තවම ගොඩක් කැමතියි සහ ආයෙම ඒවා කියවනවා. 'ගැහැනු පිරිමි' එකේ කතාවල ලය ඊට ටිකක් වෙනස් මට හිතෙන්නෙ.


මලක් කතා කරයි කෘතියට පාඨක ආදරය අත්පත් වුණා කියන එකයි මගේ හැඟීම. ඒකට 'ගොඩගේ සම්මානය' ලැබීම හරහා 'නිර්මාණ විනිශ්චය' අවකාශයකත් ඒ පොතේ නම සලකුණු වුණා. නිර්මාණයන් විනිශ්චය කිරීමේ ක්‍රියාවලිය හා සම්මාන ක්‍රියාවලියන ගැන ඉසුරු දරන්නෙ මොන වගේ අදහසක්ද?

සම්මාන හරහා පොතකට ජනප්‍රියත්වයක් එක්ක නව පාඨක පිරිසක් ඇමතීමේ අවස්ථාව හිමිවෙනවා. මම සම්මාන බලාගෙන ලියන්නෙ නැහැ කිසිසේත්ම. මම තවම ලියන්න උත්සහ කරන කෙනෙක්. සම්මාන තෝරන්නෙ යම් තෝරාගත් ජූරියක්. ඒ ජූරියතෝරන්නෙ කවුද වගේ ප්‍රශ්න තියනවා. ඒත් සමහර ජූරි සභිකයන් ඒ පුටුවට ආවෙ කොහොමද කියලා පුදුම හිතෙන අවස්ථා නැත්තෙ නැහැ. ඒ කෙසේ වෙතත් සම්මාන උත්සව වලදි නවකතාව ඉස්සරහා කවියට සහ කෙටි කතාවට අඩු සැලකිලි දැක්වීමට මං තරයේ අකමැතියි. කෘතියක වචන හෝ පිටු සංඛ්‍යාව හෝ එය අයිති පෙර නම් කරන ලද ශානරය මත එහි ගුණාත්මය මනින්න බැහැ.

ඔබ ඇයි කතන්දර ලියන්නෙ?
මං ලියන්නෙ කතන්දරද? ඔබට එහෙම හිතෙනවා නම් ඒකට එරෙහි වෙන්න අයිතියක් මට නැහැ. මගෙ කතා මම සහ ඔබ අතර සංවාදය. මම මගෙත් එක්ක කරන කේවල සහ සාමාජීය සංවාදයේ ඔබටත් දිය හැකි දිගුව. මගේ ප්‍රශ්න කිරීම. සහ මගේ වාර්තාකරය. තවමත් මං හිතනවා ඇයි මං ලියන්නෙ කියලා. ඒක ගොඩක් සංකීර්ණ ප්‍රශ්නයක්. ලිවිමේ වරප්‍රසාද වගේම ඒ කාර්යයේ වේදනාවකුත් තියනවා. ඒක මං හිතන්නෙ ටිකක් දිගට නිදහසේ හිතමින් කතා කරන්න ඕනෙ දෙයක්.


දැන් මේ මොහොතෙ නිර්මාණයට වඩා එය පළකරන මාධ්‍ය අධිනිෂ්චය වෙලා කියලා මම තර්ක කරනවා. සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය නිර්මාණකරණය බලපාලා තියෙන ආකාරය ගැන ඉසුරුගෙ විග්‍රහය මොකද්ද?

මෙහෙමයි තාක්ෂයත් එක්ක කලාව ප්‍රකාශනයේ මුහුණුවර වෙනස් වෙනවා. මිනිස්සු ජන කවි, ජන කතා කිව්වා, ගුහා චිත්‍ර ඇන්දා, තල් කොළ, කඩදාසි, කැන්වස්, සිනමා තිර ආවා, දැන් අන්තර් ජාලය. අපිට ඒකට දොස් කියන්න බැහැ, කලාව ඇතුලෙත් රැළි එනවා, යනවා. ඒ මොනවා වුනත් යම් සාරයක් සහිත දේ ශිෂ්ඨාචාරය සාපේක්ෂව දිගු කාලයක් රඳවා ගන්නවා. තව දශක කීයක් මිනිස්සු කඩදාසි පොත් කියවාවිද අපි දන්නෙ නැහැ. ඒත් මේ මොහොත ගැන කතා කෙරුවොත් අන්තර්ජාලය හරහා කලා නිර්මා අපිට ලැබෙනවා. ෆේස්බුක් එකෙන් ඉල්ලන්නෙත් නැතුව කවි කතා අපේ ඇස් ඉස්සරහට පහත් වෙනවා.ඒවයෙ ගුණ අගුණ කෙසේ වෙතත් ඒක හරි පහසු සහ ක්ෂණික මාධ්‍යක්. ඉතින් ඔබ කිව්වා වගේ නිර්මායට වඩා මාධ්‍ය අධිනිෂ්චය වෙනවා ගොඩක් වෙලාවට. මම මට හිතෙන නේ මගුලක් එවලෙම ලියලා දානවා. ඒ දේ එක්ක හැප්පෙන්න, සෙල්ලන් කරන්න නෙම නැහැ. ලස්සන මුණක් නම් ගොඩක් යාලුවො ඉන්න කෙනෙක් නම් නිර්මාණය පැතිරෙන්න ඒ කාරණා බලපානවා. ඒත් ඉතා හොඳ නිර්මාණත් මේ මාධ්‍ය ඔස්සේම එන බව අපිට අමතක කරන්න බැහැ. සාරයක් සහිත සමහරදේවල්, නිසරු ඒත් ලොකු ඇඩ්වටයිසින් කැම්පේන් එක්ක යන දේවල් ඒ ඉස්සර හැංගිලා යන බවකුත් පේනවා. ඒක හරි දුකක්. උදාහරණ ගොඩක් මට මතක් වෙනවා. අති දැවැන්ත මාධ්‍ය සන්දර්ශන ඉස්සරහ වටිනා මැණික් වල දිස්න හැංගෙනවා.


අගෝස්තු 14 ‘රෝයල් තැප්‍රොබේන්’ එකේ පැවැත්වෙන සංවාදය ගැන ඉසුරුට කියන්න තියෙන්නෙ මොකද්ද?

එදාට කෙටි කතා ගැන කිහිප දෙනෙක් අදහස් දක්වාවි. ඇත්තටම මට මෙහෙම දෙයක් කරන්න ඕනෙ වුණේ නැහැ. වසන්ත ප්‍රියකර නිවුන්හැල්ල මෙහෙම වැඩක් කරමු කරමු කිය කිය කරදර කෙරුවත් මං මග ඇරියා. මේකෙ බර කරට අරන් බලෙන්ම වගේ මේ වැඩේ වෙන තැනට ගෙනිච්චෙ තවත් ඔහු වැනිම සහෘදයෙක්. මගෙ ප්‍රකාශක 'ග්‍රන්ථ' ආයතනය අදාල සංවිධාන කටයුතු කරමින් ඉන්නවා. මේක කරන තැන අයිති සන්නස්ගල මහත්තයවත් ආදරයෙන් මතක් කරනවා. ඒක සරල හමුවක්. ඔයාට හිතෙන දේ කියන්න. අනිත අයට ඇහුම්කන් දෙන්න, කතා බහ කරන්න එන්න කියලා ආදරයෙන් ඇරයුම් කරනවා.


සංවාදය - වී. නිමේෂ්