"ටිකිරි" දළදා පෙරහැරට යොදා ගැනීම සම්බන්ධයෙන් දැඩි කතා බහක්

Report
3Shares

70 හැවිරිදි "ටිකිරි" නැමැති වයෝවෘද්ධ ඇතින්න මහනුවර දළදා පෙරහැරට යොදා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල දැඩි කතා බහක් මතුව තිබේ.

ඊයේ(12) දින යෙදී තිබූ ලෝක හස්තීන්ගේ" දිනයේදී මෙම ඇතින්නියගේ වැහැරුණ සිරුර සහිත ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එක් කරමින් තායිලන්ත සත්ව අවිහිංසාවාදී ක්‍රියාකාරිණියක් වන සෙන්ඩුයීන් චායිලට් (saengduean lek chailert) විසින් සිය මුහුණුපොතේ පිටුවක සටහනක් පළ කර තිබුනි.

සත්ව අවිහිංසාවාදී ක්‍රියාකාරිණිය එමඟින් සඳහන් කර තිබුනේ ටිකිරිගේ ඇඳුම නිසා අස්ථි ශරීරය හෝ දුර්වල තත්ත්වය කිසිවෙකු නොදකින බවත් අඛණ්ඩව දින 10ක් රාත්‍රී කාලයේ දැඩි ශබ්දය, ගිනි කෙළි සහ දුමාරය හමුවේ ටිකිරිට කිලෝමීටර් ගණනාවක් පාද චාරිකාවේ නිරත වීම දුෂ්කර බවත්ය.

චායිලට් යනු ආසියානු අලි ඇතුන්ගේ සංරක්ෂණය උදෙසා පිහිටුවා ඇති සේව් එලිෆන්ට් පදනමේ පුරෝගාමිනියකි.

ටිකිරි අලංකාර වස්ත්‍රාභරණවලින් සුරුසුණ පසු එම ඇතින්නගේ ඇස්වල කඳුළු කිසිවෙකු නොදකින බවත් ඇවිදින විට ටිකිරිට පියවර තැබීමට අපහසු බව කිසිවෙකු නොදකින බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුනි.

මෙම ඇතින්න වසර 55ක කාලයක් දළදා පෙරහැරේ ගමන් කර ඇති බව දළදා මාළිගාවේ අලි පන්තිය භාර ප්‍රදීප් මියනපලාව මහතා සඳහන් කරයි.

එසේම මෙම ඇතින්න මාස 6ක කාලයක් ආහාර ජීර්ණ පද්ධතියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පීඩා විඳ ඇත.

කෙසේ නමුත් ඇතින්නගේ භාරකරු වන ඉසංක අමල් තිලකරත්න මහතා පැවසූවේ එම රෝගී කාලය තුල ඇතින්න වෙනුවෙන් වූ භාරයක් ඔප්පු කිරීමට මෙම ඇතින්න මෙවර දළදා පෙරහැරට එක්කල බවයි.