ලංකාවේ ආගම ඇදහීමේ නිදහස ගැන සෙවීමට විශේෂ නියෝජිතයෙක් එයි

Report
1Shares

ශ්‍රී ලංකාව තුල ආගම් ඇදහීමේ සහ මතවාද දැරීමේ අයිතිය නිසියාකාරයෙන් සහතික වන්නේදැයි විපරම් කිරීම සඳහා විශේෂ නියෝජිතයකු දිවයිනට එවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන තිබේ.

නිදහසේ ආගම් ඇදහීමේ හා විශ්වාසයන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කටයුතු කරන විශේෂ වාර්තාකුවකු දොළොස් දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ තුන් මසකට ඉහත පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග සිදුවූ මුස්ලිම් හා ක්‍රිස්තියානි විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා මාලාවකින් අනතුරුව යි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දැනුම් දී ඇති පරිදි ආගම හෝ විශ්වාසය සඳහා වන නිදහස පිලිබඳ වාර්තාකාර අහමඩ් ෂාහීඩ් අගෝස්තු 15 සිට 26 දක්වා නිල සංචාරයක යෙදීමට නියමිතය.

“ආගම හෝ විශ්වාස කිරීමේ අයිතිය සඳහා ඇති නිදහස ශ්‍රී ලංකාව විසින් වැඩි දියුණු කොට ආරක්ෂා කරන්නේ කෙසේදැයි විමසා බැලීමට මම අදහස් කරමි,” යි විශේෂ නියෝජිත අහමඩ් ෂාහීඩ් පවසයි.

“මෙම අයිතීන් ආරක්ෂා කිරීම සිදුවන්නේ කෙසේද යන්න ගැන වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා ආණ්ඩුවත් සමග විවෘත සංවාදයක යෙදීමට එමගින් මට අවස්ථාවක් උදාවෙයි.”

සිය 12 දින සංචාරයේදී කොළඹින් පිට පළාත්වලද සංචාරය කිරීමට අපේක්ෂා කරන විශේෂ නියෝජිතයා රජයේ බලධාරීන්ට අමතරව ආගමික හා මතවාදී ජනකණ්ඩායම් ද මුණගැසෙනු ඇති බව එක්සත් ජාතීන් ගේ සංවිධානය නිවේදනය කරයි.

ඔහු විසින් එක්රැස් කරගනු ලබන තොරතුරු ලබන වසරේ මාර්තුවේ ජිනීවාහි මානව හිමිකම් සමුළුවට ඉදිටිපත් කිරීම අහමඩ් ෂාහීඩ්ගේ අපේක්ෂාවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මුස්ලිම්වරුන් සියගණනක් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවාගෙන සිටින අතර, ක්‍රිස්තියානි දේවධර්ම සන්ධානය ගණන් බලා ඇති පරිදි මේ වසර තුලදී පමණක් ප්‍රචණ්ඩ ක්‍රියා සහ බාධා කිරීම් වලට ගොදුරුවූ වන්දනාස්ථාන සංඛ්‍යාව 60 ඉක්මවයි.

ආගම හෝ විශ්වාසය සඳහා වන නිදහස පිලිබඳ වාර්තාකාරිනී අස්මා ජහන්ගීර් විසින් 2005 දී ශ්‍රී ලංකාවේ සංචාරයකින් අනතුරුව සම්පාදනය කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැනද විශේෂ නියෝජිත අහමඩ් ෂාහීඩ් විමසා බලනු ඇත.

අස්මා ජහන්ගීර් ගේ සංචාරයෙන් අනතුරුව ජගත් මානව හිමිකම් කොමිසමට ලබාදුන් වාර්තාවෙන් පෙන්වා දී තිබුනේ සුළුතර ආගමික කණ්ඩායම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා වලට එරෙහිව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කඩිනම් පියවර නොගන්නා බවයි.

ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය සුළුතරයන්ට අවාසිදායක අයුරින් යොදාගන්නා බව ඉකුත් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි එජා විශේෂ නියෝජිත ක්ලෙමන්ට් න්‍යාලෙට්සොසි වුලී විසින් නිරීක්ෂණය කර තිබුනි.

බෞද්ධ අන්තවාදීන් පිරිසක කෝපයට හේතුවූ කෙටිකතාවක් ලියු ශක්තික සත්කුමාර ලේඛකයා දින 130 කට ආසන්න කාලයක් රිමාන්ඩ් ගතකොට තිබුනු අතර මුස්ලිම්වරුන්ට ගල් ගැසීමට යෝජනා කළ අස්ගිරි මහනාහිමියන් සම්බන්ධයෙන් පොලිසිය කිසිදු පරීක්ෂණයක් පැවැත්වූ වගක් වාර්තාවී නැත.