නිලධාරීන් කකුලෙන් ඇදීම නිසා ලංගමට සැප බස් අහිමිවෙයි

Report
2Shares

ලංගමට සුඛෝපභෝගී බස්රථ ගේන්න සැලසුම් කලත් මුදල් අමාත්‍යංශයේ ඒ.සී කාමර වල ඉන්න නිලධාරීන් මේ ව්‍යාපෘතියට බාධා කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පළකලේ දොම්පේ ශ්‍රී ශෛල චෙත්‍යරාම විහාරස්ථානයේ ඊයේ පැවැති (14) ප්‍රජා සත්කාරක වැඩසටහනකට එක්වු අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දැක්වු ඇමතිවරයා,

ශ්‍රී ලංගමට සුඛෝපභෝගී බස්රථ දෙදාහක් ගේන්න අපි සැලසුම් කළා. ඒකට දැන් අපි මාස එකහමාරක් තිස්සේ කැබිනට් මණ්ඩලයේ දඟලනවා. නමුත් මුදල් අමාත්‍යාංශයේ ඒ. සී. කාමරවල ඉන්න, සැප වාහනවල යන එන නිලධාරීන් මේ ව්‍යාපෘති‍යට බාධා කරනවා. කකුලෙන් අදිනවා. අපේ මිනිස්සු ලොරිචැසිවල යන එක ගැන ඒ නිලධාරීන්ට ගාණක් නැහැ. කැක්කුමක් නැහැ.

ආණ්ඩුවේ ඇමැතිවරයෙක් මම. මට මේ රටේ පොඩි මිනිහා වෙනුවෙන් සුඛෝපභෝගී බස්රථ ගේන්න බැරිනම්, ලංගම දියුණු කරමින් සුඛෝපභෝගී බස්රථ ගේන්න බැරිනම්, මුදල් අමාත්‍යාංශයේ නිළධාරීන් ඒ ව්‍යාපෘතියට බාධා කරනවා නම් අපි මොකටද දේශපාලනය කරන්නේ. මේ විදියට ‍ගියොත් අපිත් මේ දේශපාලනයේ ඉන්නවද කියන එක ගැන හිතන්න වෙනවා...”යි අර්ජුන රණතුංග මහතා පැවසුවේය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මෙරට පොදු ප්‍රවාහනයේ මහජන සේවය සඳහා කැපවූ ර‍ජයේ ආයතනයයි. ලාභ ලැබීමට වඩා මහජනතාවට යහපත් සේවාවක් ලබා දීම එම මණ්ඩලයේ අරමුණ වෙයි. එම ප්‍රතිපත්තිය මත පිහිටමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ ඇණිය සවිබල ගැන්වීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් මේ වන විට ව්‍යාපෘති රැසක් දියත් වෙමින් පවතී. එයින් ප්‍රධානතම ව්‍යාපෘතිය වන්නේ ශ්‍රී ලංගමට අති නවීන සුඛෝපභෝගී බස්රථ දෙදාහක් එක් කිරීම වෙයි. එය ප්‍රමාද වන්නේ කවුරු හරි කකුලෙන් ඇදීම නිසාදැයි ඇමතිවරයා මෙහිදී පැවසුවේය.

“දැන් අවුරුදු ගාණක් තිස්සේ හොඳ බස් මේ රටට ගෙනල්ලා නැහැ. මේ ජීවිත කාලය පුරාම මිනිස්සු ගියේ ලොරි චැසි ගැසූ බස්වල. මේ ලොරි චැසි බස්වලින් අපිට පොදු ප්‍රවාහනය දියුණු කරන්න බැහැ. ඒ නිසා අපි අති නවීන ‍සුඛෝපභෝගී බස්රථ නවයක් ගෙනාවා. එයට පුදුම ඉල්ලුමක් තියෙනවා. අද මිනිස්සුන්ට අවශ්‍ය වන්නේ පෞද්ගලික වාහනවල යන්න නෙවෙයි. හොඳ බස්‍ සේවාවක් දුන්නොත්, හොඳ දුම්රිය සේවාවක් දුන්නොත් මිනිස්සු ඔක්කොම ඒවල යනවා. ඒ අනුව තමයි ආයෝජකයෙක් සමඟ එක් වී අපි සුඛෝපභෝගී බස්රථ දෙදාහක් ගේන්න හැදුවේ.

නමුත් මුදුල් අමාත්‍යාංශයේ ඉන්න නිලධාරින් මේ ව්‍යාපෘතියට කැමැති නැහැ. නමුත් ඔවුන් පෞද්ගලික අංශයට සැප බස් ගේන්න පුදුම විදියට උනන්දු වෙනවා. දඟලනවා. ඒ උවමනාව ලංගමට සැපබස් ගේනකොට නැහැ. ලංගම විනාශ කරනවා. මම කියන්නේ මේ මුදල් අමාත්‍යාංශයේ ඉන්න සියලුම නිලධාරීන් මාස දෙකකට බස්වල කෝච්චිවල යවන්න ඕනේ. එතකොටවත් පොදු ජනතාවගේ දුක දැනේවී...”යිද අර්ජුන රණතුංග ඇමතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.