ආරක්ෂාව සම්බන්ධයෙන් බිය විය යුතු නැහැ-යුද හමුදාපති

Report
1Shares

ඉදිරියේ දී මුහුණ දීමට සිටින සතුරා පිළිබඳව විශාල අධ්‍යයනයක් කර ඇති බවත් ඊට උචිත පරිදි අවශ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළ සකස් කරන බව යුද හමුදාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

මින් ඉදිරියට මුහුණ දීමට සිටින සතුරා යුද භූමියක නොව ජනතාව අතරින් මතුවන සතුරෙකු යැයි මහනුවරදී ඊයේ (15) රාත්‍රී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව කරන ආරක්ෂක වැඩපිළිවෙළ දැනුම්දීමේ අරමුණින් පැවැති මාධ්‍ය හමුවේ දී ඒ මහතා තවදුරටත් මෙසේ ද කීවේය.

"සංවිධානාත්මකව ජාත්‍යන්තර ජාලයක් තුළ ක්‍රියාත්මක වන කණ්ඩායමක් පවතින අවස්ථාවක අත්අඩංගුවට ගැනීම් අද පමණක් නොව හෙට පවා සිදුවෙන්න පුළුවන්. මෙවැනි සංවිධානාත්මක ජාලයක් සම්පූර්ණයෙන්ම මර්ධනය කළ රටක් ලෝකයේ කොතැනකවත් නැහැ.

ආරක්ෂාව සම්බන්ධයෙන් බිය විය යුතු නැහැ. අපගේ සම්පූර්ණ බලය යොදා ආරක්ෂාව තහවුරු කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කරනවා.

පාස්කු ප්‍රහාරයෙන් පසුව ඉතාමත්ම කෙටි කාලයක් තුළදී ‍ත්‍රස්තවාදය පාලනය කරගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කළා. ඉන් අනතුරුව සිදුවන පරික්ෂා කටයුතුවලදී තමයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු වෙන්නේ.

ඉකුත් වර්ෂයට සාපේක්ෂව මෙවර පෙරහැර නැරඹීම සඳහා දේශීය සැදැහැවතුන්ට අමතරව විදේශීය සංචාරකයන් විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටිනවා. එය ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල ජයග්‍රහණයක්. ජනාධිපතිවරයාගේ උපදෙස් මත, පෙරහැරට පැමිණි ජනතාවට සහ පෙරහැර සඳහා පූර්ණ ආරක්ෂාවක් ලබාදීමට ශ්‍රී ලංකා යුද හමුදාව, පොලීසිය ඇතුළු සමස්ත ආරක්ෂක අංශවලට හැකියාව ලැබුණා" යැයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.