දෙමළ අභිමානය රැකෙන බලය බෙදීමෙන් “පැරදුනත් ඈත් වෙන්නේ නෑ” අගමැති | VIDEO

Report
2Shares

දෙමළ ජනතාවගේ අභිමානය සහ ගෞරවය ආරක්ෂා කෙරෙන බලය විමධ්‍යගත කිරීමක් වෙනුවෙන් ඇති කැපවීම මැතිවරණ වලින් පරාජය වුවත් අත් නොහරින බවට අගමැතිවරයා උතුරේදී සහතික විය.

උතුරේ තුන්දින නිල සංචාරයක යෙදෙන අගමැතිවරයා බලය විමධ්‍යගත කිරීම සම්බන්ධ එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය යාපනයේදී පහදා දුන්නේ ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන (TNA) මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් විසින් නගන ලද පැනයකට පිළිතුරු වශයෙනි.

ඔවුන් එක්ව සිටියේ ගුරුනගර් ධීවර වරායේ සංවර්ධන කටයුතු කිහිපයකට මුල්ගල තැබීම සඳහාය.

“මම කියන්න ඕනේ සුමන්දිරන් මහතා සහ මාවෙයි සේනාධිරාජා මහතා තරමටම මම පෙනී ඉන්නේ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ එක්සත් භාවය වෙනුවෙන්,” යනුවෙන් තම දේශනය ඉංග්‍රීසියෙන් ආරම්භ කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේය.

“ඒත් ඒ වගේම මම විශ්වාස කරනවා, මේ රටේ දෙමළ ජනතාව ජීවත් වෙන්න ඕනේ සමානතාවයෙන්, අභිමානයෙන් යුතුව, සහ ගෞරවයෙන් යුතුව. ඒ වගේම තමන්ගේ තීන්දු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී ජනරජය තුල තමන්ගේ තීන්දු ගැනීමේ හැකියාව තිබිය යුතුයි.”

යාපනයට “වෙනම ජනරජයක්”

ඉංග්‍රීසියෙන් පමණක් තම දේශනය කර සිංහලෙන් කතා කළේ නැතිනම් “යාපනයේ වෙනම ජනරජයක් හදන්න කතා කළා” යයි චෝදනාවක් නගනු ඇති බව සමච්චලයෙන් යුතුව කී අගමැති වික්‍රමසිංහ මහ ආණ්ඩුවට පළාත් සභා බලතල පවරා ගත නොහැකි බලය විමධ්‍යගත කිරීමක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයත් එහි නායකයා ලෙස තමනුත් ව්‍යවස්ථාදායක සභාව තුල එකඟතාව පල කොට ඇති බව ප්‍රකාශ කළේය.

“ඔබේ අභිමානය හා ගෞරවය ඇතිකරන දේශපාලන ක්‍රමයක් අපි ඇති කරනවා කියලා මම කියන්න කැමතියි. මම එකෙන් වෙනස් වෙලා නැහැ. මම හැමවෙලේම හිටියේ 13 වැනි සංශෝධනයයි, අපි ඇතිකළ යුත්තේ දේශපාලන විසඳුමක් කියලා. එකෙන් ඈත් වෙලා නෑ. මං කිව්වේ මට පරාජය ලැබුනත් ඒකෙන් ඈත්වෙන්නේ නෑ කියලා.”

“පළාත් සභාවයි, ප්‍රාදේශීය සභාවයි, මහ ආණ්ඩුවයි වෙනම කානු කැපීමේ” පවතින ක්‍රමය මගින් පමණ ඉක්මවා කෙරෙන වියදම් පහලම පළාත් ඒකකය වන ගම දක්වා බලය බෙදීම මගින් අඩු කරගත හැකි බවට විශ්වාසය පල කළේය.

නීති සම්පාදනයෙදී ජාතික ප්‍රතිපත්තිය සහ පළාත් සභා අතර ගැටුම් ඇතිවීම විසඳීමට ක්‍රමවේදයක් සකස් කර නැතත් පළාත් සභා අබිබවා බලය යෙදවීමට මධ්‍යම රජයට තිබෙන හැකියාව සීමා කිරීම සඳහා වන ව්මධ්‍යගතකිරීමේ මූලධර්ම ව්‍යවස්ථාදායක සභා වාර්තාවේ ඇතැයි ප්‍රකාශ කළේය.

“ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ ගැටලුව තියෙනවා. එමගින් කිසිවිටෙකත් පළාත් සභා වල බලතල වලට අඩුපාඩුවක් විය යුතු නැහැ. අපි එය පිලිගන්නවා. අපි ඒ වගේම පිලිගන්නවා ඒක ව්‍යවස්ථාවේ වෙනම වගන්තියක් ලෙස දැක්විය යුතු බව. එහි සඳහන් විය යුතුයි එය කිසිවිටෙකත් පළාත් සභා බලතල කිසිවිටෙකත් අත්පත් කර ගන්නේ නැති බව. ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුකූලව පළාත් වලට ඕනෑම නීතියක් සම්මත කරගත හැකි අතර එය ක්‍රියාත්මක කිරීමට සහාය දැක්විය යුතුයි. එතකොට ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අපි දැනටමත් එකඟතාවකට පැමිණ තියෙනවා. අපි ඒ වගේම පහලම මට්ටමින් තීන්දු ගැනීම ගැනත් සැලකිල්ලට ගන්න ඕනේ.”

රාජපක්ෂ පිළේ බෙදීම

බලය විමධ්‍යගත කිරීම ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට යම් එකඟතාවක් ඇතිකරගෙන තිබුනත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන රාජපක්ෂවාදී කඳවුර තුල එකඟතාවක් නැතිවීම නිසා ඒ සම්බන්ධ සාකච්ඡාව පලදරා නැති බවට අගමැතිවරයා චෝදනා කළේය.

“එජාප, දෙජාස, ජවිපෙ අනික් ඔක්කොම පක්ෂ අහෝසි කිරීමට එකඟයි. අනික් පැත්ත, එජනිස සෑහෙන්න බෙදිලා ඉන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන. ඊළඟට මැතිවරණ ක්‍රමය. විධායක ජනාධිපති ධුරය අහෝසි කළොත් අපිට ස්ථාවර පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. එතකොට ස්ථාවර පාර්ලිමේන්තුවක් ගෙනෙන ඡන්ද ක්‍රමය මොකක්ද? විමධ්‍යගත කිරීම ගැන කතා කළාට කෑ ගැහුවට මේවට ගොඩක් කල් ගත වෙලා තියෙනවා. හැබැයි අපි එව්වා කපාගෙන යන ක්‍රමයක් හොයා ගන්න ඕනේ. මොකද අපිට අලුත් ව්‍යවස්ථාවක් ඕනේ. තියෙන ව්‍යවස්ථාවේ කාලය ඉවරයි.”

බහුතර බලයක් නොමැතිව ආණ්ඩුව “අවුරුදු හතරක් ඇදගෙන යමින්” ඉටු කළ නොහැකිවූ කටයුතු සපුරා ලීම සඳහා බලය බෙදීම අනුමත කරන මන්ත්‍රීවරුන් බහුතරයකගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් සකසා ගැනීම සඳහා “තීරණාත්මක බහුතරයක්” ලබා දෙන මෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ගුරුනගර් ජනතාව හමුවේ ඉල්ලා සිටියේය.