ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට මසකට රුපියල් 5000 ක්

Report
1Shares

වයස අවුරුදු 60 ට වඩා වැඩි ජ්‍යෙෂ්ඨ කලාකරුවන් සඳහා මසකට රුපියල් 5000 බැගින් ලබා දීමට කටයුතු කරන බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා පවසා ඇත.

එම වැඩසටහන හරහා පළමු අදියර ලෙස, ජ්‍යෙෂ්ඨ කලාකරුවන් 200 දෙනෙකුට පළමුව එම දීමනාව ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, කලාකරුවන් සඳහා රජය විසින් වෙන් කර ඇති රුපියල් මිලියන 94 ක මුදලින් ලැබෙන පොළිය මත එම දීමනාව ලබා දීමට කටයුතු කරන බවයි.

සංස්කෘතික අමාත්‍යාංශය සහ සමාජ ආරක්ෂණ මණ්ඩලය මඟින් මෙම වැඩසටහන සිදු කරන අතර සමාජ ආරක්ෂණ මණ්ඩලය මඟින් එය මෙහෙයවනු ලැබේ.

ජාතික කලා සංසදය, එක්සත් ජාතික කලා සංසදය,මොරටුව කලා එකමුතුව, ගායක ගායිකා සංගමය, ඇතුළු කලා සංගම් කිහිපයක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව පැවසීය.

මේ අවස්තාවට චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් සෝම පීරිස්, නාලන් මෙන්ඩිස්, කීර්තී පැස්කුවෙල්, චිත්‍රා කුමාරි කළුබෝවිල, සැනට් දික්කුඹුර, සරත් ද අල්විස් ඇතුළු කලාකරුවෝ රැසක් ඒ සඳහා සහභාගී වී සිටියහ.