“පුලතිසි” ජනපති ප‍්‍රධානත්වයෙන් ගමන් අරඹයි

Report
2Shares

කොළඹ කොටුවේ සිට පොළොන්නරුව දක්වා දිවෙන “පුලතිසි” නගරාන්තර ශිඝ‍්‍රගාමී දුම්රිය අද (11) පස්වරුවේ ගමන් ඇරඹී ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එම මංගල ගමනට එක්වෙමින් කොළඹ, කොටුව දුම්රිය ස්ථානයේ සිට මරදාන දුම්රිය ස්ථානය දක්වා ගමන් කරනු ලැබීය.

දිනපතා සවස 3.00 ට කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන දුම්රිය රාත්‍රී 7.45 වන විට පොළොන්නරුවට ළඟාවීමට නියමිතව ඇත.

පසුදින අලුයම 3.45ට පොළොන්නරුවේ සිට කොටුව දක්වා යළි ගමන් ආරම්භ කරන දුම්රිය පෙ.ව 9.06 වන විට කොටුව දුම්රිය ස්ථානයට ළගාවනු ඇත.

මෙම නව ශීඝ‍්‍රගාමී දුම්රිය පොළොන්නරුව, කුරුණෑගල, මහව, කැකිරාව, හබරණ, හිඟුරක්ගොඩ යන දුම්රිය ස්ථානවල නවත්වනු ලැබේ.

ශ‍්‍රී ලංකා දුම්රිය සේවයට අලුතින් එක්වූ “පුලතිසි” නගරාන්තර ශිඝ‍්‍රගාමී දුම්රිය එස් 13 වර්ගයේ අති සුඛෝපභෝගී දුම්රියකි.

කොළඹ කොටුව – පොළොන්නරුව අතර විශේෂ දුම්රිය සේවාවක් මෑත දශක කිහිපයේ දී ක්‍රිරයාත්මක නොවූ අතර එම අඩුව සපුරාලමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් පුලතිසි ශීඝ‍්‍රගාමී දුම්රිය සේවාව ආරම්භ කෙරිණි.

මේ අතර මරදාන ප‍්‍රධාන දුම්රිය පාලක මැදිරිය ද අද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

අමාත්‍ය අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ යන මහත්වරුන් ද ඉන්දියානු මහකොමසාරිස්වරයා ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.