ගෝඨාභයගේ ජාතික ආරක්ෂාව "සිංහලවාදී ලෙස සුළු ජාතීන් මර්දනය කිරීමයි" | VIDEO

Report
3Shares

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සඳහා යැයි පවසමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කිරීමේ උත්සාහයේ සැබෑ අරමුණ රටේ සුළුතර ජනතාව මර්දනය කිරීම යැයි නවසමසමාජ පක්ෂයේ නායකයා අනතුරු අඟවයි.

කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූරාපේක්ෂකයා හඳුන්වා දෙන ලද්දේ “ජාතිවාදී ෆැසිස්ට්වාදීන්ගේ කඳවුරෙන් ඉදිරිපත් කර ඇති ජාත්‍යන්තර මිනීමරුවකු” ලෙසයි.

“මේ රටේ ඉන්න අනික් සුළු ජාතික මනුෂ්‍ය කොට්ඨාශ ඔක්කොම බිය වද්දලා, ඔවුන් සිංහලවාදී ක්‍රියාමාර්ගයකට යට කරලා මේ රටේ ඒකීය රාජ්‍යයක් සහ ඒකාධිපති බලවතෙක් සහිත ආණ්ඩුවක් තිබිය යුතුය” යන්න රාජපක්ෂවාදී කඳවුරේ අරමුණ බව නසසප නායකයා පැවසීය.

දෙමළ විමුක්ති අරගලය මර්දනය කිරීම සඳහා රජයේ හමුදා පුහුණු කරමින්, අවි ආයුධ ලබා දුන් ඉන්දියාව හා පකිස්තානය වැනි න්‍යෂ්ටික බලය පවා ඇති රටවල් සමග සම්මුතියක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවට කඩා වැදී පහර දීමට කලාපයේ කිසිම බලවතකු ඉදිරිපත් නොවන බව ඔහු අවධාරණය කළේය.