TID නිලධාරීන් රැසකට වධක චෝදනා නගන වාර්තාවක් ජිනීවා නුවරින් එලි දකී

Report
3Shares

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත මර්දන පොලිසියේ පනස් දෙනකුට වැඩි පිරිසක් ස්ත්‍රී දුෂණ සහ ලිංගික අඩන්තේට්ටම් ඇතුළු හිංසා කළ වධකයන් ලෙස නම් කරන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් එම පොලිස් භටයන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන තුරු ජාත්‍යන්තර ආධාර ලබා දීම අත් හිටුවන ලෙස ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 42 වැනි සැසි වාරය මුළුදෙන ජිනීවා නුවරදී එලි දක්වන ලද ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ 58 දෙනකුගේ නම් සහිත එම වාර්තාව නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP)යි.

තමන්ට සම්මුඛ සාකච්ඡා ලබා දුන් වධබන්ධනයට පාත්‍ර වූ 73 දෙනකු විසින් ලබා දුන් තොරතුරු ඒ හෙළිදරව්වට පාදක වුනු බව ITJP පවසයි. එම සංවිධානය කියන පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දශකයකට වඩා පැරණි වාර්තා වලින් නම් කර තිබෙන පොලිස් නිලධාරීන්ද ඒ අතර වෙයි. ඉන් අයකු එක්සත් ජාතීන්ගේ සාමසාධක නිලධාරියකු ලෙස පවා රාජකාරි කර ඇත්තෙකි.

ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය කරන බවට ජගත් ප්‍රජාව හමුවේ ප්‍රතිඥා දී ඇති වර්තමාන ආණ්ඩුවේ පාලනය යටතේද වධකයන් ලෙස චෝදනා ලබන නිලධාරීන් දඬුවම් නොලබා ගැලවී සිටීම ගැන ITJP සංවිධානය ජාත්‍යන්තර අවධානයට යොමු කර තිබේ.

“පොලිස් වධහිංසා පිළිබඳව පුන පුනා නැගෙන චෝදනා සම්බන්ධයෙන් දක්වන නොසැලකිල්ල කම්පා කරවන සුළු අතර, සංක්‍රාන්ති යුක්තිය පසෙක තිබියේවා, ශ්‍රී ලංකාව විසින් ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය සඳහා ප්‍රකාශිත පොරොන්දු විහිලුවක් බවට පත් කරයි,” යනුවෙන් ITJP විධායක අධ්‍යක්ෂිකා යස්මින් සූකා සිය වාර්තාව සමග නිකුත් කරන නිවේදනයකින් පවසා තිබේ.

“වධහිංසාවලට සම්බන්ධ බවට චෝදනා ලබන TID නිලධාරීන් 2007 දී එජා විශේෂඥයකු විසින්ද, දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකික රාජ්‍ය නොවන සංවිධාන සහ මානව හිමිකම් නීතිඥයන් විසින් ද, දැන් වධහිංසාවෙන් වින්දිතයන් ආරක්ෂා කරගැනීමේ පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ට එරෙහිව පවරා ඇති නඩුවට ආධාර පිණිස ITJP විසින් කැලිෆෝනියාවේ අධිකරණයට භාර දී ඇති ලියවිලි වලින්ද නම් කොට තිබේ. එහෙත්, කවදාවත් කිසිදු පියවරක් ගෙන නොමැත. චූදිත වධකයෝ සෑම ආණ්ඩු මාරුවකදීම ගැලවීම ලබති.”

ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් පසුගිය දශකය පුරා රඳවාගෙන සිටි ගැහැනුන්ට සහ මිනිසුන්ට සංවිධිතව පමුණුවන ලද කුරිරු වධබන්ධන සහ ලිංගික ප්‍රචණ්ඩතා අලුත්ම ITJP වාර්තාවෙන් විස්තර කෙරේ. එහිදී කොළඹ TID කාර්යාලය සහ බූස්ස රැඳවුම් කඳවුර කෙරේ වැඩි අවධානයක් යොමු කොට ඇත.

ගෝටාගේ නඩුව

“චුදිත අපරාධකරුවන්ට නඩු පවරන තුරු, ජාත්‍යන්තර පුහුණු වැඩ සටහන්, එක්සත් ජාතීන්ගේ සාමසාධනය සහ වෙනත් ආකාරයේ ජාත්‍යන්තර ආධාර TID සාමාජිකයන්ට සලසා දීම තහනම් කළ යුතුය. ආරක්ෂක අංශයේ මේ ඒකකයේ කුණුවීම පුහුණු වැඩ සටහන් මගින් පමණක් විසඳා ගත නොහැකිය,” යි යස්මින් සූකා පවසයි.

වාර්තාව සමග නිකුත් කර ඇති වින්දිතයන් විසින් නම් කරන ලද පොලිස් නිලධාරීන් 24 දෙනකු ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන්ගේ විස්තර ඇතුලත් ලිපිගොනු එක්සත් ජනපදයේ හවුස්ෆෙල්ඩ් නීතිඥ සමාගම විසින් ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව කැලිෆෝනියාවේ පවරා ඇති වධහිංසා පැමිණවීම පිළිබඳ චෝදනා රැගත් නඩුකරයේ සාක්ෂි ලෙස ද ඉදිරිපත් කර තිබේ.