අතුරුදහන් කාර්යාලයේ මාස හයක වියදම කෝටි තුන පනී | VIDEO

Report
2Shares

ශ්‍රී ලංකාව තුලදී අතුරුදහන් කරනු ලැබූවන් සහ ආගිය අතක් නැතියවුන් පිළිබඳ සත්‍යය හෙළි කරගැනීම සඳහා පිහිටුවා ඇති රාජ්‍ය ආයතනය ඒ කිසිවකුගේත් ඉරණම හෙළි කර නැතත්, පසුගිය අවුරුද්දේ අවසන් මාස හය සඳහා පමණක් රුපියල් කෝටි තුන ඉක්මවන මුදලක් වැය කර තිබේ.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) විසින් පාර්ලිමේන්තුවට ලබා දී ඇති 2018 වාර්ෂික වාර්තාවේ දැක්වෙන පරිදි එම වසරේ ජූලි මස 1 දා සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුල වියදම් කර ඇති මුදල රුපියල් 30,450,000 කි.

OMP කාර්යාලය විසින් වැඩිම වැයක් දරා ඇත්තේ කාර්ය මණ්ඩල වැටුප් සඳහාය. එය එක්කෝටි හතලිස්පන්ලක්ෂය ඉක්මවයි.

අතුරුදහන් පුද්ගලයන්ගේ ඥාතීන් හමුවීම ඇතුළු ව්‍යාප්ති වැඩ සටහන් සඳහා වැය කර ඇත්තේ රුපියල් විසි අට ලක්ෂයකට ආසන්න මුදලකි.

අතුරුදහන් වුවන් අතරින් එක් අයකු පිලිබඳ සත්‍යය හෙළි කරගත් බවක් දැක්වෙන්නේ නැති වාර්ෂික වාර්තාවේ 2018 මාර්තු සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුල OMP කාර්යාලය ක්‍රියාත්මක වීම සහ පීඩාවට පත් ඥාතීන් සමග සම්බන්ධතා ගොඩනගාගැනීම ප්‍රගතියක් සේ දක්වා ඇත.

“මෙම කාර්යාලයට අතුරුදහන් සහ සොයාගත නොහැකි පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් තුල පැවති සැකය සහ අවිශ්වාසය, එහි අධිකාරියට පිළිගැනීමක් නොමැති වීම, ස්වාධීන කොමිෂන් සභාවක් වශයෙන් එහි තත්වය සහ ප්‍රධාන රාජ්‍ය ආයතනවලින් අනුමැතිය ලබා ගැනීම,” වැනි අභියෝග ගණනාවකට තමන්ගේ නායකත්වයෙන් යුත් ආයතනයට මුහුණ දීමට සිදුවූ බව වාර්තාවට දී ඇති පණිවුඩයකින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සභාපතිවරයා පවසා තිබේ.

සාලිය පීරිස්

ජනාධිපති නොදෙන අතුරුදහන් වාර්තා

එම අභියෝග අතරින් එකක් ලෙස දක්වා ඇත්තේ දශක ගණනාවක් තිස්සේ අතුරුදහන් කරනු ලැබුවන් පිළිබඳව ජනාධිපති භාරයේ තිබෙන තොරතුරු ලබා ගැනීමට අනුමැතිය නොලැබීමයි.

වාර්තාවේ දක්වා ඇති පරිදි අතීතයේ පවත්වන ලද පරීක්ෂණ වලින් රැස් කරගන්නා ලද දත්ත හා තොරතුරු ඇතුලත් වාර්තා ජනාධිපති මුද්‍රාව යටතේ තිස් අවුරුදු කාලයකට ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුවේ ගබඩා කොට පවතී.

එම වාර්තා පරීක්ෂා කර ඩිජිටල් මාධ්‍යයෙන් දීර්ඝ කාලීන වශයෙන් සංරක්ෂණය සඳහා OMP කාර්යාලය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් නිල වශයෙන් ඉල්ලා තිබේ.

“මෙම කාර්යාලයට 2018 ජූලි මස ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුවේ ගබඩා කර ඇති මුද්‍රා තබන ලද වාර්තා බැලීමට මූලික අවසරය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබිණ. කෙසේ වුවත් අදාළ වාර්තා පුනරීක්ෂණය කිරීමේ සහ සංඛ්‍යාංකනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට විධිමත් අනුමැතිය මෙතෙක් ලැබී නැත.”

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සාපරාධී කටයුත්තක් ලෙස ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් නීති ගත කිරීම ගැන ප්‍රසාදය පල කරන OMP වාර්තාව එය හඳුන්වා දී ඇත්තේ “මුක්තියට එරෙහි සටනේ සතුටුදායක ජයග්‍රහණයක්” ලෙසිනි.

අපරාධයේ විධාන වගකීම

කෙසේ වෙතත්, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ අපරාධයට අණ දුන් පුද්ගලයන්ගේ සම්බන්ධය ඇතුළු වෙනත් කරුණු වලට අදාලව පනතේ ඇති දුර්වලතා වාර්තාව මගින් පෙන්වා දී ඇත.

“බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් නිර්වචනය කිරීමේ දී අපරාධයේ සමහර කොටස් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ පනත ක්‍රියාත්මක කිරීමට පෙරාතුව සිදු වූ අවස්ථා පැහැදිලිවම ඇතුළත් කිරීමට අපොහොසත් වීමෙන් අපරාධය දිගටම සිදුවන ස්වභාවය පිළිගැනීමට අපොහොසත් වේ. මෙම පනතින්, සම්බන්ධ විය හැකි අපරාධකරුවන් මෙන්ම බලහත්කාර අතුරුදහන් කිරීම පිළිබඳ අණදීම පිළිබඳ වගකීමේ සම්පූර්ණ විෂය පථයේ පුළුල් පරාසයම ඇතුළත් කර ගෙන නැත. එමෙන් ම බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම මානව වර්ගයාට එරෙහි අපරාධයක් ලෙස පිළිගෙන නැත.”

OMP කාර්යාලයේ රාජකාරිය ඉටු කිරීම සඳහා අවශ්‍ය දෙසිය පනස් හතරක කාර්ය මණ්ඩලය වෙනුවට රජයේ කළමනාකරණ සේවා මණ්ඩලයෙන් අනුමැතිය ලැබී ඇත්තේ තනතුරු පනස් හයකට පමණක් බව OMP වාර්ෂික වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

යුද්ධාවසානයෙදී ශ්‍රී ලංකා යුද හමුදාවට භාරවීමෙන් අනතුරුව අතුරුදහන් කරවනු ලැබූ දහස් සංඛ්‍යාත ජනකාය අතරින් පස් දෙනකුට අත්වූ ඉරණම පිළිබඳ සත්‍ය හෙළි කර දෙන්නේ නම්, ස්වේච්ඡාවෙන් සේවය ලබා දීමට තමන් සුදානම් බව දෙමළ මව්වරුන් මීට ඉහතදී OMP කාර්යාලයේ ප්‍රධානීන්ට පවසා තිබුනි.

අතුරුදහන් වුවන්ගේ ඥාතීන් වෙනුවෙන් රුපියල් හයදහසක මාසික දීමනාවක් ලබා දීමට OMP කාර්යාලය පසුගිය අගෝස්තුවේ ජනාධිපතිවරයාට භාර දුන් අතුරු වාර්තාවෙන් නිර්දේශ කර තිබුනද ඥාතීන් පවසන්නේ තමන්ට එම දීමනාව තවමත් ලැබී නැති බවයි.

තිස් අවුරුද්දකට ඉහතදී පොලිසියෙන් රැගෙන යාමෙන් අනතුරුව තම වැඩිමහල් දරුවා අතුරුදහන් කරවනු ලැබූ 72 හැවිරිදි ගාල්ලේ රත්ගම එම් විමලාවතී මාතාව ඒ පිළිබඳව කොළඹදී මාධ්‍යවේදීන්ට විස්තර කළ අයුරු පහත වීඩියෝවේ.