ජනාධිපතිගේ චෝදනා බොරු බවට අගමැතිගෙන් ප්‍රතිප්‍රහාරයක් | VIDEO

Report
1Shares

ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ කරන චෝදනා අගමැතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මතබේදයට ලක් වී සිටින හිටපු අල්ලස් කොමසාරිස්වරිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක් ලෙස පත් කරන මෙන් ඉල්ලීමක් කළ වගට ජනාධිපතිවරයා කරන චෝදනාව සත්‍යයෙන් තොර බව අගමැතිවරයා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව තමන් ඉලක්ක කරගෙන ජනාධිපතිවරයා විසින් කරනු ලබන චෝදනා සම්බන්ධයෙන් විමතිය පළකරමින් විශේෂ නිවේදනයක් නිකුත් කරන අගමැතිවරයා තමන්ට හෝ කැබිනට් අමාත්‍යවරුන්ට එරෙහිව ප්‍රසිද්ධියේ මත පල කිරීම වගකීම් සහගත ක්‍රියාවක් නොවන බවට කියා සිටී.

“මාස තුන හතරකට කලින් රනිල් වික්‍රමසිංහ මහත්තයා මට කිව්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර ධුරයක් සඳහා දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පත් කරන්න කියලා,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මාතලේ රැස්වීමක් අමතමින් චෝදනා කර තිබුනි.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන් පත් කිරීම පිළිබඳව ජනාධිපතිතුමාට නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලය ඇත්තේ අගවිනිසුරුතුමාට සහ නීතිපතිතුමාට පමණක් බව පවසන අගමැති වරයා තමන් කිසිවිටෙකත් ව්‍යවස්ථාවට පිටින් කටයුතු කර නැතැයි පවසයි.

“දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මිය හෝ වෙනත් කිසිම පුද්ගලයෙකු හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර තනතුරකට පත් කරන්න යැයි ඉල්ලමින් මම ලිපි යොමුකර නැහැ. ඒ නිසා එවැනි ලිපියක් යොමු කළා කියා නගන චෝදනාව අසත්‍යයක්. මම එය ප්‍රතික්ෂේප කරනවා.”

මින් ඉදිරියට තමන්ට විරුද්ධව චෝදනා එල්ල කළහොත්, එසේ එල්ල කරන අවස්ථාවක් අවස්ථාවක් පාසා පිළිතුරු දීමට පුද්ගලිකව මැදිහත් වෙන්නේත් නැතැයි අගමැති වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කරයි.