ඥානසාර හිමි කළ නීති විරෝධී ආදාහනෝත්සවයෙන් උතුරේ උසාවි වැසේ | VIDEO

Report
4Shares

ජනාධිපති විසින් හිරෙන් නිදහස් කරන ලද බොදුබලසේනානායකයාගේ මෙහෙයවීමෙන් අධිකරණ නියෝග නොතකා බෞද්ධ හිමිනමකගේ ආදාහනෝත්සවයක් හින්දු කෝවිල් භුමියක පැවැත්වීමට විරෝධය පාමින් උතුරේ නීතිඥයන් දියත් කළ විරෝධතාවකින් උසාවි කටයුතු අඩාල වී තිබේ.

නීතිඥ විරෝධයට සහාය දක්වමින් මුලතිව් හි පෙළපාලි ගිය දහස් සංඛ්‍යාත ජනකායක් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සහ අධිකරණ තීන්දු ක්‍රියාත්මක කිරීමෙන් වැළකී සිටි පොලිසියට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින පෙත්සමක් දිසාපති කාර්යාලයට භාර දුන්හ.

හින්දු මෙන්ම බෞද්ධ පූජකයෝ ද විරෝධතාවට එක්ව සිටියහ.

“සිංහල බෞද්ධයන්ට උසාවි තීන්දු වලංගු නැද්ද?” යි ඇතැම් විරෝධතාකරුවන් අත වූ පුවරු වල සඳහන් විය.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට එරෙහිව පියවර ගන්නා ලෙස නීතිපතිවරයාගෙන් ද, නීතිය ක්‍රියාත්මක නොකළ මුලතිව් සහකාර පොලිස් අධිකාරි සහ මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්බන්ධයෙන් විනයානුකුලව කටයුතු කරන ලෙස පොලිස් කොමිසමින් ඉල්ලා සිටීමට උතුරේ නීතිඥ සංගම් තීරණය කර තිබේ.

“නීතිපතිවරයාගෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුනොත් සිකුරාදා දක්වා පවත්වන උසාවි වර්ජනය තවත් දිග්ගැස්සීම ගැන අපි සලකා බලනවා,” යි යාපනය නීතිඥ සංගම් සාමාජික යාපනය සරසවි නීති පීඨාධිපති කුමරවඩිවේල් ගුරුබරන් කියා සිටියේය.

උතුරේ කෝපාන්විත විරෝධයට හේතු වී තිබුනේ අපවත් වූ කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය පාරම්පරික හින්දු කෝවිල් භුමියක ආදාහනය කිරීමයි.

යුද්ධයෙන් පසු ඉදිකරන ලද ගුරුකන්ද විහාරයේ අධිපති වූ එහිමියන්ගේ අවසන් කටයුතු යාබද නීරාවියඩි ගණදෙවි කෝවිල් භුමියේ පැවැත්වීම 23 සඳුදා මුලතිව් අධිකරණය විසින් අත්හිටුවන ලදී.

භූමියේ අයිතිය සම්බන්ධයෙන් කලක පටන් ආරාවුලක් කෝවිල සහ පන්සල ඉදිරිපත් කළ කරුනු සලකා බැලූ දිසා විනිසුරු එස් ලෙනින් කුමාර් විසින් නියෝග කොට තිබුනේ ආගමික සිද්ධස්ථාන දෙකටම එපිටින් වූ වෙරළබඩ බිම් තීරුවක ආදාහනෝත්සවය පවත්වන ලෙසයි.

“තීන්දුව මොක උනත් අපි මේ ආදාහනය කරනවා,” යි අධිකරණ භූමියේදීම ප්‍රකාශ කළ බොදුබලසේනානායකයා පිරිවරාගත් භික්ෂුන් වහන්සේ විසින් දකුණෙන් ප්‍රවාහනය කරන ලද පිරිස් කැටුව ගණදෙවි කෝවිලට දිය සපයන තීර්ථයක් ලෙස ගැනෙන පොකුණකට යාබද භූමියේ ආදාහනය පවත්වන ලදී.

හින්දු බැතිමතුන්ගේ ශුද්ධවූ අඩවියක් කෙලෙසන බව පවසමින් ඊට විරෝධය පෑ ප්‍රදේශවාසී දෙමළ පිරිස් වලකා ලූ පොලිසිය විසින් ආදාහන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට ඉඩ සැලසීම ගැන පොලිසියෙන් ප්‍රශ්න කළ සුගාෂ් කනගරත්නම් ඇතුළු නීතිඥවරුන් සිංහල බෞද්ධ පිරිස් වල හිරිහැරයට ලක්වූ බව අපේ වාර්තාකරුවෝ පවසති.

විහාරස්ථානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රෝහණ තල්පාවිල බීබීසී සිංහල සේවයට පවසා තිබුනේ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය විහාර භූමියේ ආදාහනය කිරීම අත්හිටුවා අධිකරණ නියෝගයක් දී ඇත්තේ විහාරස්ථානයේ භාරකාර විහාරධිපතිවරයාට "පමණක්ම" බවය.

අධිකරණයට අපහාස කිරීමට 2018 අගෝස්තු 08 දා වරදකරු වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට පැනවූ වසර 19 ක සිරදඬුවම අභියාචනාධිකරණය විසින් වසර 6 කින් ගෙවී යන සේ පනවන ලදී.

ජනාධිපති මෛත්‍රිපාල විසින් පසුගිය මැයි මාසයේ දී ඔහු සිරභාරයෙන් නිදහස් කරන ලදී.