ජාතික ආරක්ෂාවට ජාතීන් අතර සමගිය අවශ්‍යයි: ජනාධිපති අපේක්ෂක හිටපු හමුදාපති | VIDEO

Report
3Shares

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා ජාතීන් අතර එකමුතුකම වර්ධනය කිරීමේ වැදගත්කම ජනාධිපති ධුරයට තරග වදින හිටපු යුද හමුදා ප්‍රධානියා අවධාරණය කර සිටී.

සංහිඳියාව යන්න සැබෑ ලෙස අර්ථ ගැන්වීම පක්ෂ දේශපාලනයෙන් කළ නොහැකි බව විශ්‍රාමික රාජ්‍ය සේවකයන් සහ විද්‍යාර්ථීන් පිරිසක් එක්වී පිහිටුවාගන්නා ලද 'ජාතික ජනතා ව්‍යාපාරයේ' ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ප්‍රකාශ කළේ කොළඹ සුගතදාස ග්‍රෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති සමුළුවක් අමතමිනි.

විශ්‍රාම යාමෙන් පසු ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරය සඳහා තරග වදින දෙවැනි යුද හමුදාපති වන ඔහු තමන් “නිර්පාක්ෂික අපේක්ෂකයකු” ලෙස හඳුන්වා ගනිමින් “ජාතීන් අතර සමගිය ඇති කළ හැක්කේ ස්වාධීන රාජ්‍ය නායකයකුට පමණයි,” යයි කියා සිටියේය.

“මේ රටට කවුරු ප්‍රථමයෙන් ආවාද, කවුරු දෙවනුවට ආවාද, කවුරු ඊයේ ආවාද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මේ සියලුදෙනාම මේ රටට යම්කිසි කාල වලදී ඇවිල්ල තියෙනවා. ආවට පස්සේ අපිට ඒක වෙන් කරන්නට බැහැ.”

වර්තමාන ව්‍යවස්ථාව “යල් පැනගිය” එකක් ලෙස විවේචනයට ලක් කළ හිටපු හමුදාපතිවරයා ඒ සඳහා අවශ්‍ය සංශෝධන විශේෂඥයන්ගෙන් සමන්විත තම ‘කණ්ඩායම’ විසින් ඉදිරිපත් කරනු ඇති බවට සහතික විය.

ශ්‍රී ලංකාවේ දේශපාලකයන් බහුතරයක් අපරාධ වලට සම්බන්ධ නිසා නීතිය හා සාමය පවත්වාගෙන යා නොහැකි තත්වයක් උදාවී ඇතැයි සඳහන් කළ මහේෂ් සේනානායක “ඒ සඳහා මා හොඳින් සාක්ෂි දරනවා” යි ප්‍රකාශ කළේය.