කතෝලික පල්ලියේ ඔත්තුවට හමුදාව සීරුවෙන්

Report
9Shares

පාස්කු ඉරිදා පරිද්දෙන්ම ජනාධිපතිවරණ කාල සීමාව තුලදීත් ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි දේවස්ථාන වලට ප්‍රහාර එල්ලවන බවට හා කතෝලික සභාව විසින් ජනාධිපතිවරයාට කරන ලද අනතුරු ඇඟවීමක් පදනම් කරගෙන ක්‍රියාත්මක වීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය තිබේ.

ඒ අනුව මේ මස පළමුවැනිදා පැවති බුද්ධි සම්බන්ධීකරණ සාකච්ඡාවේදී තීන්දු කරන ලද පරිදි දේවස්ථාන හා පුද්ගලයන් ආරක්ෂා කිරීමට පියවර ගන්නා මෙන් ජාතික බුද්ධි ප්‍රධානියා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගෙන් ඉල්ලා සිටින ලියුමක සඳහන් වන්නේ “යලිත් වරක් කිසියම් හිංසාකාරී ප්‍රහාරයක්” එල්ල විය හැකි බවයි.

“කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් අතිගරු ජනාධිපති තුමා වෙත ඉදිරිපත් කරන ලද ලිපියක් මගින්, ඔක්තෝබර් මස 15 දින සිට 25 දින අතර කාලපරාසය තුල කිතුනු දේවස්ථාන වෙත යලිත් වරක් කිසියම් හිංසාකාරී ප්‍රහාරයක් එල්ලවීමේ තර්ජනයක් ඇති බවට අනතුරු හැඟවීම් ලැබී ඇති බව සඳහන් කර ඇත,” යි මේජර් ජෙනරාල් ජීවක රුවන් කුලතුංගගේ අත්සනින් යුත් ලිපියේ සඳහන් වෙයි.

ජනාධිපතිවරණ සමයේ ජාතිවාදී කලබල ඇති විය හැකි බවටත් ජාතික බුද්ධි ප්‍රධානියා අනතුරු අඟවයි.

“එමෙන්ම, ඇතැම් අන්තවාදී කොටස් රටතුල දිගින් දිගටම කලබලකාරී වාතාවරණයක් ඇති කරමින් මැතිවරණ උණුසුම පවතින කාල සීමාව තුල තත්වය තවත් ව්‍යාකුල කිරීමේ හැකියාවක් පැවතිය හැකි බවින්, ඉදිරි මාස කීපය පුරා පාස්කු දින ප්‍රහාරයෙන් පසු කිතුනු දේවස්ථාන සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අනුයුක්ත කොට ක්‍රියාත්මක කර තිබූ ආරක්ෂක වැඩපිළිවෙල යලිත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් සිදුකර ඇත.”

පාස්කු ප්‍රහාරයෙන් පසු පැවති පළමු ආරක්ෂක මණ්ඩල සාකච්ඡාවටද ජනාධිපතිවරයා විසින් කොළඹ අගරදගූරු මැල්කම් රංජිත් සහභාගි කරවාගෙන තිබුනි.