“අහන්නවත් වටින්නේ නැති පෙත්සමක්” බව විනිසුරු තීන්දුවයි: ගම්මන්පිල | VIDEO

Report
3Shares

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාගේ ශ්‍රී ලාංකික භාවය ප්‍රශ්න කරමින් ගොනු කරන ලද පෙත්සම පිළිබඳව දින තුනක විභාගයකින් අනතුරුව එය “අහන්නවත් වටින්නේ නැති පෙත්සමක්” බෙඅට අභියාචනාධිකරණය ඒකමතිකව තීන්දු කළ බව අධිනීතිඥ උදය ගම්මන්පිල පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියකු වශයෙන් පිළි ගැනීම වළක්වාලමින් තහනම් නියෝ ගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවන් තුන්කට්ටුවක් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

“ඒ පෙත්සම නිෂ්ප්‍රභා කරලා විසිකරලා දාන්න තීරණය කළා. මොකද ඒක අහන්නවත් වටින පෙත්සමක් නොවෙයි කියන එකයි අභියාචනාධිකරණයේ ගරු විනිශ්චයකාරවරුන් තුන්දෙනාගේ ඒකමතික තීන්දුව වුනේ,” යි අධිනීතිඥ උදය ගම්මන්පිල නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතා කියා සිටියේය.

සාහිත්‍යවේදී ගාමිණි වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර විසින් තම පෙත්සමින් කියා තිබුනේ 2003 දී ඇමරිකානු පුරවැසියකු වෙමින් ශ්‍රී ලාංකික පුරවැසි භාවය අත්හල ගෝඨාභය රාජපක්ෂ විසින් දෙවසරකට පසු අයථා ලෙසින් ද්විත්ව පුරවැසි භාවය ලබාගත් බවයි.

එය පිලි නොගත් සභාපති යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් පෙත්සම ප්‍රතික්ෂේප කිරීම “ඓතිහාසික තීන්දුවක්” ලෙසින් උත්කර්ෂයට නැංවූ ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයන් සහ දේශපාලන ආධාරකරුවන් විසින් එය හඳුන්වන ලද්දේ අධිකරණයේ ස්වාධීනත්වය පෙන්නුම් කළ අවස්ථාවක් ලෙසයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන් සතු බලතල අනුව තම සහෝදරයාට ද්විත්ව පුරවැසි භාවය ලබා දුන් බව අධිකරණය පිළිගත්තේ යයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මාධ්‍යවේදීන් හා කියා සිටියේය.

ඒ බව සනාථ කිරීම සඳහා නීතිපතිවරයා ද කරුණු දැක්වීම “වාසනාවක්” ලෙසින් ඔහු විසින් හඳුන්වන ලදී.

“වාසනාවකට වගේ නීතිපති තුමා නීත්‍යානුකුලව එතුමාගේ අදහස් අධිකරණයට ඉදිරිපත් කළා.”

අධිකරණ භුමිය අවට දැඩි රැකවල් ලා තිබුණු අතර සවස් යාමයේ තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂගේ ආධාරකරුවන් සහ දේශපාලන සගයන් රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති ඝෝෂා නගනු දක්නට ලැබිණි.

අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යාම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව පෙත්සම්කාර පාර්ශවයෙන් කළ විමසීමකදී ගගනට දැනගන්නට ලැබුනි.

එක්සත් ජනපද පුරවැසි භාවය අත්හළ බව පවසන ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරයේ සිටියදී දෙමළ සහ සිංහල පිරිසකට අත් අඩංගුවේ දී ලිංගික දුෂණ ඇතුළු වධහිංසා පැමිණවීම සහ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් වගකීමේ චෝදනා නගමින් කැලිෆෝනියාවේ නඩු පවරා තිබේ.