පෙත්සම නිෂ්ප්‍රභා කිරීමෙන් එජාපය තවත් පිරිහුනා-මහින්ද

Report
3Shares

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පුරවැසියෙකු ලෙස පිළිගැනීමට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය තීරණය කිරීමත් සමඟ ඊයේ දින ජනතාව රතිඤ්ඤා දල්වමින් සිය සතුට පළ කර තිබුනා.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම නිෂ්ප්‍රභා වීමෙන් එක්සත් ජාතික පක්ෂය තවදුරටත් පිරිහීමකට ලක් වූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනු ලැබුවා.

ඒ, ඊයේ (04) පස්වරුවේ කලාකරුවන් පිරිසක් සමඟ විජේරාම නිල නිවසේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කෙසේවෙතත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියකු වශයෙන් පිළි ගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කළා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රීපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් කර තිබුනා.

පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික ගාමිණි වියන්ගොඩ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර යන මහත්වරුන් විසිනුයි මෙම පෙත්සම ගොනු කර තිබුණේ.

කෙසේනමුත් පෙත්සම නිෂ්ප්‍රභා වීමෙන් අනතුරුව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අදහස් පළ කර සිටියා.