ජනපති අපේක්ෂකයෙකු භාෂාව භාවිතා කිරීමේදී මීට වඩා අවධානය යොමු කළ යුතුයි

Report
4Shares

තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ගෞරවය සහ ශාන්ත භාවය හැඳින්වීම සඳහා යොදාගන්නා ශ්‍රී යන නාමය තමන්ගේ කටට ශ්‍රී මුඛය වශයෙන් දේශපාලනඥයෙකු භාවිතා කරන්නේ නම් එය කිසිසේත්ම නොගැලපෙන්නක් බව ජාතික විද්වත් භික්ෂු සංසදයේ සමසභාපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

"බුදුරජාණන් වහන්සේගේ ධර්මය - ශ්‍රී සද්ධර්මය, උන්වහන්සේගේ වචන - ශ්‍රී මුඛපාඨ, උන්වහන්සේගේ පතුල - සිරිපතුල ආදී වශයෙන් හදුන්වන උප සංස්කෘතිකමය භාෂාවක් තිබෙනවා. එවැනි අවස්ථාවක අයෙකු බල්ලෙකුට පා පහරක් එල්ල කර අනතුරුව ශ්‍රීපාදයෙන් සුනඛයා පලවා හැරියා යැයි කිවහොත් එය උචිත නොවන බව" ඊයේ (05) අස්ගිරි උපෝෂථාගාරයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

ජාතිය, භාෂාව, දේශය සහ බුදු දහමේ අනාගතය පිළිබඳව සකස්කරන ලද සම්මුතියේ මාලිමාවනම් යෝජනාවලිය ජාතික විද්වත් භික්ෂු සංසදය විසින් අස්ගිරි පාර්ශවයේ මහා නායකඅතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන්වහන්සේ ප්‍රධාන විංශ්වද් වාර්ගික කාරක මහාසංඝ සභාව වෙත පිළිගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් මේ බව සඳහන් කළහ.

ජනපති අපේක්ෂකයෙකු භාෂාව භාවිතා කිරීමේදී මීට වඩා බුදුදහම, ජාතිය සහ සංස්කෘතිය පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇතැයි ද උන්වහන්සේ කීහ.

දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි නොකර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් රට බෙදී යා හැකි යැයි අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිපාණන් වහන්සේ සපථ කළ බව කී පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් මෙසේද සඳහන් කළහ.

"අප රටට විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළහොත් රට බෙදී යා හැකියැයි මහනායක හිමිපාණන් වහන්සේ සඳහන් කළා. විධායක ජනපති ක්‍රමයඅහෝසි කරනවා නම් පළාත් සභා ක්‍රමය අහෝසි විය යුතුයැයි" මහා නායක හිමිපාණන් වහන්සේගේ අදහසයි.

"සම්මුතියේ මාලිමාව නම් යෝජනාවලිය තුළින් තිබෙන පනත් සම්මත කිරීම නව පනත් හඳුන්වාදීම සහ ඉදිරියේදී බලාපොරොත්තු වන රටට උචිත ව්‍යවස්ථාවක් සකස් කිරීමට අප අපේක්ෂා කරනවා යැයි" පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.

ජාතික විද්වත් භික්ෂු සංසදයේ සම කැඳවුම්කරු මහාචාර්ය මාදුරුවේ ධම්මිස්සර හිමියන් අදහස් දක්වමින්," සජිත් ප්‍රේමදාස වැනි ජනපති අපේක්ෂකයෙකු වේදිකාවේ අදහස් දක්වන විට ජාතියකට ආගමකට පහර වදින වචන භාවිතා නොකළ යුතුයි. අයෙකු එක් දිනක් හෝ දහම් පාසලකට ගොස් තිබේ නම් තමන්ගේ අවයව හඳුන්වා දීම සඳහා ශ්‍රී යන වචනය භාවිත කරන්නේ නැහැ.

ආර්. ප්‍රේමදාස වැනි ජනාධිපතිවරයෙකුගේ පුත්‍රයකු වශයෙන් ඔහු කටයුතු කරන්නේ නම් බුද්ධාගම පිලිබඳව කොතරම් ගෞරවාදරයෙන් කටයුතු කළ යුතු ද යන්න අවබෝධ කරගත යුතුයි.

වරක් දෙවරක් නොව අවස්ථා කිහිපයකදීම ඔවුහු මෙම සංකල්ප වරදවා ගත්තා. තමන් වාසය කරන භික්ෂූන් වහන්සේ හෝ විද්වතුන් ඉන්නවා නම් ඔවුන්ගෙන් මෙවැනි සංකල්ප පිළිබඳව අසා දැන ගැනීම වඩාත් උචිත යැයි" මාදුරුවාවේ ධම්මිස්සර හිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.

ජාතික විද්වත් භික්ෂු සංසදය විසින් සම්මුතියේ මාලිමාව යෝජනාවලිය අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමි, අනුනායක හිමියන් වන ආණමඩුවේ ධම්මදස්සි හිමි, අනුනායක වේඩරුවේ උපාලි හිමි ඇතුලුව කාරක සංඝ සභවේ හිමිපාණන් වහන්සේ වෙත පිළිගන්වා උන්වහන්සේ දැනුවත් කරන ලදි.