මහා පරිමාණ කෘෂි ආයෝජන මඤ්ඤොක්කා වගා ව්‍යෘපෘතියේ සමාරම්භය ජනපති ප‍්‍රධානත්වයෙන්

Report
2Shares

ඇමරිකානු ඩොලර් මිලියන 40ක ඝෘජු විදේශ ආයෝජනයෙන් ශ්‍රී ලංකාවේ පළමු මහා පරිමාණ හරිත ආයෝජන ව්‍යාපෘතිය වන ග‍්‍රාමීය මඤ්ඤොක්කා නිෂ්පාදන විදේශීය වෙළෙඳපොළට හඳුන්වා දෙන නව ව්‍යාපෘතියේ සමාරම්භය සහ නව කර්මාන්ත ශාලාවට මුල් ගල තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධාන්තවයෙන් ඊයේ(08) පස්වරුවේ පොළොන්නරුව, වැලිකන්ද, සිංහපුර ප‍්‍රදේශයේ දී සිදු කෙරිණි.

ග‍්‍රාමීය ව්‍යවසාය ප‍්‍රවර්ධනයේ අභිනව යුගයක උදාව සනිටුහන් කරමින් ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ ස්ටාර්ච් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම හා ඒකාබද්ධව සම්ප‍්‍රදායික කෘෂි නිමැවුම් නැවුම් මුහුණුවරකින් විදේශ වෙළෙඳපොළට හඳුන්වාදීමේ අරමුණින් ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.

ගොවි බිම් සරු කරන අක්කර 37,500ක මඤ්ඤොක්කා වගාවක්, රටපුරා විසිරී සිටින ගොවීන් විසි දහසකගේ අස්වැන්නට වෙළෙඳපොළක්, නවීන තාක්ෂණික යන්ත්‍රෝපකරණවලින් යුත් නිෂ්පාදනාගාරයක් මෙමගින් රටට හිමිවන අතර මෙම ව්‍යාපෘතිය විදේශ විනිමය රටට ගලා එන නව අපනයන මුලාශ‍්‍රයකි.

නව කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු විය.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ද ස්ටාර්ච් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගමේ සභාපති ඇන්ඩ්‍රියාස් වයික් මහතා ඇතුළු දෙස් විදෙස් ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.