ජනපති අපේක්ෂක සජිත්ට ආශිර්වාද කිරීමේ මහා සංඝරත්නයේ පිරිත් දේශනාවක්

Report
1Shares

රාජ්‍ය පාලකයකුගේ ශ්‍රද්ධාව ඔහුගේ පාලනය තුළින් මැනවින් හෙළි වන බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ වත්මන් ක්‍රියා පිළිවෙත තුළින් නායකත්ව ලක්ෂණ මනාව පෙන්නුම් වන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක, පොළොන්නරුව සොළාස්මස්ථානාධිපති පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් පවසති.

තමන්ගේ ඇඟ ලේ මස් නහර තුළින් පවා දස රාජ ධර්මය ක්‍රියාත්මක කිරීමට එදා රාජ්‍ය පාලකයන් කටයුතු කළ බවත් අදටත් අපට අවශ්‍ය වන්නේ එවැනි පාලනයක් යැයි ඊයේ(08) මහනුවර නාථ දේවාල පරිශ්‍රය අභියස පැවැති ආශිර්වාද පිරිත් සඤ්ඡායනාවට එක් වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ආශිර්වාද කිරීමේ මහා සංඝරත්නයේ පිරිත් දේශනාවක් එම භූමි පරිශ්‍රයේදී සිදුවූ අතර එවන් ස්ථානයක ත්‍රෛිනිකායික මහා සංඝරත්නය ජනපති අපේක්ෂකයෙකු වෙත ආශිර්වාද කිරීමේ පිරිත් සඤ්ඥායනාවක් කළ පළමු අවස්ථාව ද මෙය වේ.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මෙම අවස්ථාව සංවිධාන කර තිබුණු අතර දහසකට අධික සංඝරත්නය මේ සඳහා සහභාගී වි සිටියහ.

රාජ්‍ය නායකයා දැහැමි වන්නේ නම් රටට නිසි ආකාරව වර්ෂාව ලැබී ධාන්‍ය සම්පත් වලින් රටස්වයං පෝෂිත වන බව කී උන්වහන්සේ මෙසේ ද කීහ.

"ධර්ම කරුණු කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඔබතුමාට දිගින් දිගටම කරුණු කියන්න අවශ්‍ය නෑ, අත්දැකීම් තිබෙනවා. පියතුමාගේ ගමන් මාර්ගයේ යන ඔබට තමන් යන මඟ පිළිබඳව අවබෝධයක් තිබෙනවා.

ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන පූජා කිරීම ඇතුළුව රණසිංහ ප්‍රේමදාස මහතා බුදු දහමේඋන්නතිය සඳහා විශාල කාර්යය භාරයක් කළා. උදාගම් විවෘත කිරීමේදී ශ්‍රී දළදා මාලිගාවේ, මහියංගණ විහාරයේ, මිහින්තලාවේ ආකෘති සකස් කරමින් සම්බුද්ධ ශාසනයට තමන්ගේ ඇති භක්තිය එතුමා පෙන්නුම් කළා. මෙරට රාජ්‍යය නායකයින් අතීතයේ සිටම බුද්ධදාස, සංඝබෝධි, සිරිසඟබෝ, සද්ධාතිස්ස ආදී ලෙස බුදු දහම හා බැදුණු නාමයන් භාවිත කළේ ඊට තමන්ගේ ඇති ඇල්ම පෙන්වීම සඳහායි.

දුටු ගැමුණු රජුගේ රාජ්‍යය පාලන ප්‍රතිපත්තිය තුළ ප්‍රමුඛතාව හිමිවූයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමයි. සතරසංග්‍රහ වස්තූන් මෙන්ම දස රාජ ධර්මයන්ද ඇඟට කාවැදුණු නායකයෙකු රාජ්‍යය නායකත්වයට පත්විය යුතු බවත් වසර පහෙන් පහට ජනපති ධූරය වෙනස් වුවත් ධර්ම කාරනා එසේ වෙනස් නොවන බවත් උන්වහන්සේ කීහ.

මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි අනුනාහිමියෝ ද මේ අවස්ථාව් අදහස් දැක්වූහ.

ඇමැතිවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, ගාමිණි ජයවික්‍රම පෙරේරා, පාඨලී චම්පික රණවක, ලකී ජයවර්ධන, රංජිත් අළුවිහාරේ, ජේ.සී අලවතුවල, සුජීව සේනසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මයන්ත දිසානායක, රෝහිණී කවිරත්න, මහනුවර පුරපති කේසර සේනානායකයන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.