“හූ ඉස් ගෝටා” කියා පුරවැසියන් නිරන්තරයෙන් ප්‍රශ්න කළ යුතුයි | VIDEO

Report
4Shares

ලාංකික අධිකරණය සාපේක්ෂ වශයෙන් ස්වාධීන බවට විශ්වාසය පලකරන පුරවැසි ක්‍රියාධරයෙක් එම අවකාශය ප්‍රයෝජනයට ගනිමින් ගෝඨාභය රාජපක්ෂගෙන් නිතර ඇසිය යුතු ප්‍රශ්න ගණනාවක් ඇති බව අවධාරණය කරයි.

“හූ ඉස් ගෝටා” (ගෝටා කවුද) කියා ප්‍රශ්න කිරීම නොනවත්වාම සිදු කළ යුතු බව මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර කොළඹදී ප්‍රකාශ කළේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජයගැන්වීම සඳහා සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකතුව කැඳවූ සභාවක් අමතමිනි.

මහාචාර්යවරයා විසින් එම ප්‍රශ්නය ඉදිරිපත් කළේ ජාත්‍යන්තර රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රකාශයක් සිහිපත් කරමිනි.

රාජපක්ෂ පාලන සමයේ දී සන්ඩේ ලීඩර් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් බීබීසී මාධ්‍යවේදී ස්ටීවන් සකූර් විසින් 2010 ජූනියේදී නගන ලද ප්‍රශ්නයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ පිළිතුර වූයේ “හූ ඉස් ලසන්ත” යන්නයි.

ගෝඨාභය රාජපක්ෂ ගේ පුරවැසි භාවය ප්‍රශ්න කරමින් උසාවි ගිය මහාචාර්ය තේනුවර සහ ගත්කතුවර ගාමිනී වියන්ගොඩට එරෙහිව නඩු විභාගයෙන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ ජාතිවාදී ප්‍රහාර මාලාවක් දියත් වී ඇති අතර මරණ තර්ජනද එල්ලවී තිබේ.

ඒ පිළිබඳව ඔවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

පාලකයන්ගෙන් ප්‍රශ්න කිරීමට පුරවැසියන් සතු අයිතිය වර්තමාන පාලන සමයේ ලබාගත් “උපරිම ජයග්‍රහණය” බව පවසන චන්ද්‍රගුප්ත තේනුවර තමන්ට තර්ජන කරන්නේ “ප්‍රශ්න වලට බය” පිරිස් බව අවධාරණය කරයි.

“තර්ජනය ගර්ජනය හිංසාව ආදී දේවල් වලින් පමණක් පාලනය දන්නා උදවිය වුවත්, වෙනත් අය විසින් ප්‍රශ්න කිරීමට බය වන්නාවූ අය වුවත්, ප්‍රශ්න කිරීමේ අයිතිය අපිට තියෙනවා. ඒක අපි දිනා ගත්තු අයිතියක්. ඒක තමයි අපි 2015 ලබාගත්තු උපරිම ජයග්‍රහණය. ඒ ජයග්‍රහණය භුක්ති විඳින්නට තමයි අපි අධිකරණයට ගියේ අර මෝරුන් ඇතිකරපු මිනිස්සුන්ගෙන් ප්‍රශ්න කරන්න. නැතිනම්, එක්නැලිගොඩලව අතුරුදහන් කරපු මිනිස්සුන්ව ප්‍රශ්න කරන්න.”

අභියාචනාධිකරණයේ තමන් පැවරූ නඩුව විනිසුරුවන් විසින් ඉවත දමනු ලැබුවත් ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසි සහතිකය වලංගු බව අධිකරණයෙන් පිළිගැනීමෙන් එය අවලංගු කර නැතිනම් ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකාවේ ඡන්දය ඉල්ලීමේ අයිතියක් තිබේද යන ප්‍රශ්නයත් මතු වන බව මහාචාර්ය තේනුවර පවසයි.

“අපිට තියෙනවා ප්‍රශ්නයක් ඔහු සැබෑ ලෙසම ඒ ද්විත්ව පුරවැසි භාවය අවලංගු කළාද මේ ඡන්දෙට එන්න කලින්,” යනුවෙන් ඔහු විමසා සිටියේය.

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර වැඩිදුරටත් කියා සිටියේ සිය ද්විත්ව පුරවැසි භාවය අවලංගු කර තිබේද යන්න ගැනත් ගෝඨාභය රාජපක්ෂගෙන් අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමට සැලසුම් කරගෙන සිටින බවයි.