රට නගාසිටුවන්න අපට තවත් එක් වතාවක් ඔබගේ විශ්වාසය ලබාදෙන්න-රවී

Report
1Shares

එකම නිතියක් තුළින් රටේ බලය විමධ්‍යගත කරලා රට ඉදිරියට ගෙනයන එක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, අද (10) පස්වරුවේ ගාලුමුවදොර පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණය ජය තහවුරු කිරීමේ පළමු රැළිය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

"සමහරු අහනවා අපි වසර 05 ක් තිස්සේ මොනවද කළේ කියලා. නමුත් අපට බලය ලැබණ වෙලාවේ විශාල ගැටළු රාශියක් තිබුණා විසදන්න. ඒ නිසා මේ කාලය තුළ අපට අවසන් කරන්න බැරිවුණ සියලු දෙයක්ම නොවැම්බර් 16 න් පස්සේ ඉටුකරනවා.

මේ තරුණ තරුණියන් තමයි අපේ අනාගතය. සම්පත. ඒ නිසා ඔවුන්ගේ හැකියාවට රැකියාවක් ලබාදීලා, ඔවුන්තුළින් රට නගා සිටුවන්න අපට තවත් එක් වතාවක් ඔබගේ විශ්වාසය ලබාදෙන්න.

අපේ අගමැතිතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා සමඟ එක්සත් ජාතික පක්ෂයේ සියළුම නායකයන් ශ්‍රී ලාංකික අනන්‍යතාවය ආරක්ෂා කරන්න අද එකතුවෙලා තිබෙනවා. ඒ නිසා අපි සියලුදෙනාම අත්වැල් බැදගෙන සජිත් ප්‍රේමදාස රටේ ජනාධිපති කරන්න එකතුවෙන්න. අපි රටේ ජනතාවට ණයගැතියි. නොවැම්බර් මාසයේ 16 දා ඔබගේ ශක්තිය තුළින් අපට ලබාදෙන විජයග්‍රහණයෙන් ඒ ණය අපි ගෙවන්න සූදානම් එක්සත් ජාතික පාක්ෂිකයන් සියලු දෙනාටම එකම පවුලක් ආකාරයෙන් එක්රොක් වෙලා, අත්වැල් බැදගෙන රට ඉදිරියට ගෙනයාමේ හැකියාව ඇති කරලා දුන්නේ අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. අද මේ සියලු දෙනාම එකම වේදිකාවක රැස්වෙලා සිටින්නේ නොවැම්බර් 15 දාට සජිත් ප්‍රේමදාස මැතිතුමාට විජයග්‍රහණයක් ලබාදීම සදහායි.

රටේ සෑම කොනකම සාමය, සමගිය, එකමුතුභාවය ඇතිකරන්න තමයි අපේ උත්සාහය. එහෙම නැතිවඅපේ ප්‍රතිවිරුධ කණ්ඩායම වගේ කොළඹට එකක් කියලා, මඩකලපුවට තවත් එකක් කියලා, යාපනයට තවත් එකක් කියන නායකයෝ නෙමෙයි අපි ලග ඉන්නේ. එකම නීතියක් තුළින් රටේබලය විමධ්‍යගත කරලා රට ඉදිරියට ගෙනයන එක තමයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය.

2015 ජනවාරි 08 දා අපේ අහිංසක ජනතාව බියෙන් සැකයෙන් ජීවත් වූ යුගය අවසන් කරන්න අපට වරමක් ලබාදුන්නා. ඒ ජනවරම තුළින් අප රට සීග්‍රයෙන් ඉදිරියට ගෙනිහින් එක්දෙයක් ස්ථාපිත කළා. ඒ තමයි වැටිලා තිබුණ ප්‍රජාතන්ත්‍රවාදය. නමුත් වැඩි කලක් යන්නට කළින් ඒ ප්‍රජාතන්ත්‍රතවාදයට 2018 දී කළු පැල්ලමක් එකතුවුණා. ඒ අවස්ථාවේදිත් අපේ ජනතාව එක්වෙලා නැවතත් අපට විජයග්‍රහණයක් ලබාදුන්නා. අද ඊටත් වඩා විශාල සංඛ්‍යාවක් දිවයිනේ සෑම කොනකින්ම මේ ස්ථානයට ඇවිත් තිබෙන්නේ, සජිත් ප්‍රේමදාස ජනාධිපති කරන්නටයි.

අපට අවශ්‍ය වන්නේ දණගස්සපු ආර්ථිකය නැවත නගා සිටුවන්නයි. ඒ වගේම සියලු ජාතීන් එකම ධජයක් යටතේ එක්රැස් කරලා ඒකීය රටක් වශයෙන් මේ රට සංවර්ධනය කරන්නයි. අවුරුදු 11 ක් ඔවුන් පඩි වැඩි කරනවා කිව්වා. නමුත් අපි ඇවිත් දින 100 ක් ඇතුළත පඩිවැඩි කළා. ඒ වගේම හමුදාවට, පොලීසියට වසර 12ක් තිස්සේ නොලැබුණ වැටුප් වැඩිවීම් ලබාදුන්නා. ජීවන වියදම අඩුකලා. පෙට්‍රල්, ඩීසල්, ගෑස් සියලු දේ මිල අඩුකරලා, රැකී රක්ෂා ඇති කරලා රටේ එක්තැනකට සිමාවි තිබූ සංවර්ධනය රට පුරාම ව්‍යාප්ත කළා. ඉදිරියටත් ඒ ආකාරයෙන් ජනතා සහන සලසන්න අපට නැවත අවස්ථාවක් ලබාදෙන්න "යැයි පැවසීය.