හිරේ සිටිය යුතු අය අපේක්ෂකයන් කළ බවට සජිත්ගේ වේදිකාවේ ආණ්ඩුවට දොස් | VIDEO

Report
7Shares

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට තරග වැදීම සඳහා ඉදිරිපත් වී සිටීමට මග පෑදු බවට වර්තමාන ආණ්ඩුවට දොස් නැගී තිබේ.

විශ්ව විද්‍යාල වෘත්තිකයන්ගේ සංසදය විසින් සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවති විද්වත් සමුළුවකදී එම චෝදනාව නැගූ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ “හිරගෙවල් වල සිටිය යුතු අය ජනාධිපති අපේක්ෂකයන් කළේ මේ ආණ්ඩුවයි,” යනුවෙන් පැවසීය.

මහා පරිමාන අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන වරදකරුවන්ට එරෙහිව නීති මගින් ක්‍රියා නොකළ පසුගිය පස් වසරක මන්දගාමී ක්‍රියා කලාපය එවැන්නන් පෙරට ඒමට හේතුවූ බව මහාචාර්යවරයා අවධාරණය කරයි.

බලය නොමැතිව සිටියදීත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාගේ ආධාරකරුවන් විසින් කාන්තාවන්ට නිග්‍රහ කිරීමත්, සිවිල් ක්‍රියාධරයන්ට මරණ තර්ජන ඉදිරිපත් කිරීමත් මහාචාර්ය වරයා විසින් පෙන්වා දෙන ලද්දේ ගෝඨාභය රාජපක්ෂගේ පාලනයක් යටතේ ඇතිවිය හැකි බියජනක තත්වයක පෙරලකුණු ලෙසයි.

ආණ්ඩු පක්ෂයේ වේදිකාවක වුව බියෙන් තොරව රජය පවා විවේචනය කිරීමට අද තිබෙන අයිතිය එවැනි යුගයක් බිහිවීමෙන් අහිමිවී යනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීය.

ජාතික ආරක්ෂාව සහතික කිරීම සම්බන්ධයෙන් සෑම දේශපාලන පක්ෂයක්ම “කයිවාරු ගහන” බව ප්‍රකාශකළ මහාචාර්ය පුරසිංහ ජාතික සමගියෙන් තොර ජාතික ආරක්ෂාවක් නැතැයි අවධාරණය කළේය.

“මුස්ලිම් හා දෙමළ ප්‍රජාව ව සිංහල ප්‍රජාව සමග සංහිඳියාවෙන් නොහිටියොත් ජාතික ආරක්ෂාව සැලසෙන්නේ නැහැ.”

ජාතික ආරක්ෂාව මෙන්ම ජාතික සංහිඳියාව පිළිබඳවත් දරන ප්‍රතිපත්තිය මැතිවරණ වේදිකාවේ ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ විසින් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට පෙන්වා දෙන ලදී.