ගෝඨාභය ගේ උතුරේ වේදිකාවේ “සිංහලයන් ආවේ ඉන්දියාවෙන්” | VIDEO

Report
211Shares

ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් දෙමළ ජනතාවගේ ඡන්දය ඉල්ලා සිටින මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී සිංහලයන් ඉන්දියාවේ සිට පැමිණි බව ප්‍රකාශයට පත් වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රබල ආධාරකරුවකු වන උතුරේ හිටපු ආණ්ඩුකාරයා සිංහල දෙමළ සමගිය සඳහා එයද හේතුවක් වන බව දක්වා සිටියේ නාමල් රාජපක්ෂද එක්ව සිටි වවුනියාව දිස්ත්‍රික් නියෝජිත සම්මේලනයකදීය.

“සිංහල ජනතාව ආවේ ඉන්දියාවෙන්, දෙමළ ජනතාවත් ආවේ ඉන්දියාවෙන්,” යයි රෙජිනෝල්ඩ් කුරේ දෙමළ බසින් ප්‍රකාශ කළේය.

“බුදුහාමුදුරුවෝ ආවේ ඉන්දියාවෙන්. දෙමළ ජනතාවත් ආවේ ඉන්දියාවෙන්. බෞද්ධ විහාරයක් ඇතුලට ගිහිල්ලා බලන්න, හින්දු දෙවිවරු ඔක්කොම බෞද්ධ විහාරය ඇතුලේ ඉන්නවා. විෂ්ණු දෙයියෝ, කතරගම දෙයියෝ, පත්තිනි අම්මා බෞද්ධ විහාර ඇතුලේ ඉන්නවා. එතකොට, බුදුහාමුදුරුවොයි, විෂ්ණු දෙවියොයි ඒ විහාර ඇතුලේ එකට ඉන්නවා. ඒ දෙවිවරුන්ට වඳින්න යන අය රණ්ඩු කරනවා. ඒකෙ තේරුමක් තියෙනවාද? මේ බෙදුම්වාදය කතා කරන අය නායකයන් පිරිසිදු ලේ ගැන කතා කරනවා. පිරිසිදු ලේ මේ ලෝකයේ තියෙනවාද? සිංහල රජවරු ඔක්කොම ඉන්දියාවේ මදුරාපුරයේ ඉඳලා බිසෝවරු ගෙනාවා. සිංහල රජවරුන්ගේ ලේ කලවම්. දෙමළ ලේයි, සිංහල ලේයි සිංහල රජවරුන්ගේ පවුල් ඇතුලේම කලවම් වෙලා තියෙනවා.”

සිංහල දේශපාලකයන් සමග පවුල් සබඳතා පවත්වමින් ජාතිවාදය අවුස්සන බවට දෙමළ දේශපාලන නායකයන්ට චෝදනා කළේය.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමටත්, උතුරේ ගම්මාන මැද පිහිටුවා තිබෙන හමුදා කඳවුරු ඉවත් කිරීමටත්, අතුරුදහන් වුවන් නැවත සොයා දිය නොහැකි හෙයින් එම පවුල් වලට ඉඩම්, නිවාස සහ රැකියා ලබා දීමටත් මහින්ද සහ ගෝඨාභය සහෝදර දෙපළ තමන් හා සහතික වූ බව හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ වැඩිදුරටත් දැනුම් දුන්නේය.