කදානේ මත්පැන් නිෂ්පාදනාගාරයක් සුරා දැලේ

Report
3Shares

කදාන මොරාවත්ත ප්‍රදේශයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් තුන් ලක්ෂ පනස්දහසක් (3 50 000/)වටිනා මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු පෙරේදා (17)කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ මත්පැන් නිෂ්පාදන සදහා යොදා ගන්නා ගෝඩා ලීටර් 4000 ක්,අඩංගු බැරල් 20 ක් සොයා ගත්බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී.එන්.හේමන්ත මහතා පවසයි.

මොරාවත්ත ප්‍රදේශයේ කෙටල වලින් වටවු මඩ ගොහුරක මත්පැන් නිෂ්පාදනය ඉතා යහමින් සිදු කර ගෙන ගොස් තිබේ. මෙහි නිෂ්පාදිත මත්පැන් කාලයක් තිස්සේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට බෙදා හරින බව ප්‍රශ්න කිරීමේදී සුරාබදු නිලධාරීන් ඉදිරියේ සැකකරු පාපොච්ජාරණය කර ඇත.

මත්පැන් සමග අත්අඩංගුවට ගත් සැකකරු ඉදිිරියේදී වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජී.සුමනසිංහ මහතාගේ උපදෙස් මත,අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත දිසානායක ,නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත,සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරී චන්න වීරක්කොඩි මහතාගේ අධික්ෂණය යටතේ ,කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති,ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී.එන් .හේමන්ත මහතා ,පරීක්ෂක කේ.ජී. වර්ණතිලක ඇතුළු නිලධාරින් මෙම වැටලීම සිදු කළහ.

කැප්ෂන්,

සුරාබදු නිලධාරීන් ගෝඩා බැරල් ගොඩ ගන්නා අයුරු.