‘කොම්රේඩ් ලයනල්’නොවැම්බර් 5 එළිදකී

Report
6Shares

වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් පැවති ජවිපෙ 2වැනි කැරලි සමය පිළිබඳව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න විසින් රචිත නවතම ග්‍රන්ථය වන කොම්රේඩ් ලයනල් කෘතිය 2019 නොවැම්බර් 5 අඟහරුවාදා පස්වරු 3ට කොළඹ 5 තුංමුල්ල මංසන්දිය අසළ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී එළි දැක්වේ.

මෙම කෘතියට පාදක වන්නේ ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකරලීමේ ජවිපෙ උපාය මාර්ගික ගමන්මඟ අනුව එය ක්‍රියාවට නඟමින් විජය කුමාරතුංග, කොළඹ සරසවි උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර, එජාප මහ ලේකම් නන්දලාල් ප්‍රනාන්දු, රහස් පොලිස් අධ්‍යක්ෂ ටෙරන්ස් පෙරේරා ඇතුළු 41ක් ජවිපෙ 2වැනි කැරැල්ලේදී ඝාතනයට ලක්කළ ලයනල් රණසිංහගේ සත්‍ය කථාවය. පිටු 432කින් යුත් ග්‍රන්ථයට ඡායාරූප 86ක් ඇතුළත්ය.

කුරුවිට ඉපිද හොරණ ජීවත්වූ ලයනල් රණසිංහ වෘත්තියෙන් රටකජු වෙළෙන්දෙකු වූ අතර පසුව පූර්ණකාලීන දේශපාලන ක්‍රියාධරයෙකු විය. ලයනල් රණසිංහ උපන් සහ ජීවත්වූ නිවෙස්වලටද ඔහුගේ හිතවතුන් පමණක් නොව ලයනල් අත්අඩංගුවට ගත් සහ එම සිද්ධීන්වලට දායකවූ පොලිස් නිලධාරින්ද සොයාගිය ග්‍රන්ථයේ කතුවරයා ලයනල් රණසිංහ විසින් ඝාතනය කරන ලද 41න් වැඩි පිරිසකගේ නිවෙස්වලට ගොස් එම පවුල්වල අයද හමුවීමෙන් පසු ‘කොම්රේඩ් ලයනල්’ ග්‍රන්ථය සම්පාදනය කර තිබේ. මෙය ධර්මන් වික්‍රමරත්නගේ 54වන කෘතියයි.

කොම්රේඩ් ලයනල් ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවයේ මුලසුන පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි හොබවන අතර ග්‍රන්ථය පිළිබඳ හැඳින්වීම, 71,89 සහ තරුණ ක්‍රියාකාරිත්වය, විදේශ ගිවිසුම් සහ කුමන්ත්‍රණ, දේශපාලන ඝාතන සහ ඝාතනයේ දේශපාලනය මැයින් එහිදී දෙසුම් පවත්වනුයේ අජිත් ගලප්පත්ති, ආචාර්ය චරිත හේරත්, වෛද්‍ය වසන්ත බණ්ඩාර සහ ඩිව් ගුණසේකර යන මහත්වරුන් විසිනි. වැඩසටහන මෙහෙයවනුයේ සේපාල අමරසිංහ මහතාය. ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාව සැමට විවෘත අතර ඒ පිළිබඳව වැඩි විස්තර අවශ්‍ය වන්නේනම් 011-5234384 යන දුරකථනයෙන් විමසිය හැකිය.