ශවේන්ද්‍ර සිල්වා හමුදා ප්‍රධානියා වීමෙන් එක්සත් ජනපද ආරක්ෂක සබඳතා අනතුරේ

Report
3Shares

හමුදා ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වාට එරෙහි යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පියවර නොගතහොත් එක්සත් ජනපදය විසින් ලබාදෙන ආරක්ෂක සහයෝගිතාව අඩාල වීමේ අවදානමට ශ්‍රී ලංකාව මුහුණ පා සිටී.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් විදේශ ප්‍රතිපත්ති සම්පාදන මණ්ඩලයක් හමුවේ පවසා ඇත්තේ ජනාධිපතිවරණයෙන් පසු ජයගන්නා කවර අපේක්ෂකයකුට වුවද ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම වෙනුවෙන් බලකිරීමට එක්සත් ජනපදය මැදිහත් වන බවයි.

ශ්‍රී ලංකාවට සංහිඳියාව අත්‍යාවශ්‍ය වී ඇති අවස්ථාවක ලුතිනන් ජෙනරාල් සිල්වා යුද හමුදාපති ධුරයේ පිහිටුවීම යුද්ධයේ වගඋත්තරකාරීත්වය සම්බන්ධයෙන් දී ඇති පොරොන්දු අනතුරේ හෙලන බවට කොන්ග්‍රස් මණ්ඩල විදේශ කටයුතු කමිටුව අමතමින් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මානව හිමිකම් කටයුතු භාර ප්‍රධානියා බරපතල අනතුරු ඇඟවීමක් කරමින් කියා සිටියේය.

“යුද හමුදාපති ලෙස සිල්වා උසස් කිරීම නිසා ශ්‍රී ලංකා යුද හමුදාව සමග එක්සත් ජනපදය පවත්වාගෙන යන ද්විපාර්ශවික සහයෝගය එක්සත් ජනපද නීතිය අනුව බරපතල ලෙස අඩාල කෙරෙනු ඇති අතර, සිල්වා සහ අනිකුත් අපරාධකරුවන් සම්බන්ධයෙන් වගඋත්තරකාරිත්වය තහවුරු කරන්නේ නම්, බාධක ලිහිල් කිරීමටත් වඩා ඉහල හමුදා ගනුදෙනු ඇති වීමටත් මග පාදනු ඇත,” යි ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා කම්කරු අයිතිවාසිකම් භාර සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඩෙස්ට්‍රෝ විදේශ කටයුතු පිළිබඳ කොංග්‍රස් කමිටුව අමතා ප්‍රකාශ කළේය.

යුද අපරාධ සිදුකළ සේනාංකයකට අණදුන් බවට චෝදනා ලබන ශවේන්ද්‍ර සිල්වා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් යුද හමුදාපති ලෙස පත් කළ ඉකුත් අගෝස්තුවේ ඊට එරෙහිව ජගත් බලවතුන්ගෙන් හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ඇතුළු මානව හිමිකම් ක්‍රියාධාරීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
එම විරෝධය නොතකා ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දිගටම යුද හමුදාපති ධුරයේ තබාගෙන හිඳීම නිසා සාම සාධක රාජකාරිවල යෙදීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට තහංචි පනවා තිබේ.
මැතිවරණ දැන්වීමකට පෙනී සිටීම නිසා මතබේදයට ලක්වී සිටින වර්තමාන යුද හමුදාපතිවරයාට එරෙහි චෝදනා පිළිබඳව පියවර ගැනීම කෙසේ වෙතත්, ජනාධිපති ධූරාපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ පොරොන්දු වී ඇත්තේ බලයට පත්වූ සැනින් බරපතල අපරාධ සිදු කිරීමේ චෝදනා යටතේ සිරගත කොට සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් නිදහස් කර යවන බවයි.
පොදුජන එක්සත් පෙරමුණ විසින් ගෝඨාභය රාජපක්ෂ සිය අපේක්ෂකයා ලෙස නම් කිරීමට පැය කිහිපයකට කලින් ශ්‍රී ලංකාවේදී ඔහු මුණ ගැසුණු ඉහල පෙලේ ඇමරිකානු රාජ්‍ය නිලධාරිනියක් ද කොන්ග්‍රස් මණ්ඩල කමිටුවේදී යුද හමුදාපති සම්බන්ධයෙන් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලේඛන ගත කර ඇති ශවේන්ද්‍ර සිල්වාට එරෙහි චෝදනා “බරපතල හා විශ්වසනීය” බව පිළිගනිමින් දකුණු ආසියා කලාපය භාර වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් ප්‍රකාශ කර ඇත්තේ ලබන මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් “කවර අපේක්ෂකයකු ජයගත්තත්” මානව හිමිකම් න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් එක්සත් ජනපදය දැඩි ලෙස බලපෑම් කරන බවයි.

කෙසේ වෙතත්, කොන්ග්‍රස් මණ්ඩල කමිටුව වොෂින්ටනයේ රැස්වෙද්දී එක්සත් ජනපදයේ උසස් ආරක්ෂක නිලධාරීන් ශ්‍රී ලංකාවේ දී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමග සහයෝගයෙන් කටයුතු කරනු දැකගන්නට ලැබුනි.

එක්සත් ජනපද ශාන්තිකර කලාපීය සාගරික මෙහෙයුම් අධ්‍යක්ෂ වරයකු වන රියර් අද්මිරාල් ග්‍රාන්ට් මාගර් ඇතුළු නිලධාරීන් ශ්‍රී ලංකාවේ යුද හමුදාපති සමග ගත් සමූහ ඡායාරූප ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රසිද්ධියට පත් කර තිබුනි.

රියර් අද්මිරාල්වරයා ශ්‍රී ලංකාවට ගොස් තිබුනේ ගාලු මුවදොර හෝටලයේ දෙදිනක් තිස්සේ පැවති ගාලු කතිකාව 2019 නම් අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයේ ආරාධිත දේශකයකු ලෙසිනි.

පුද්ගලයන් පැහැරගෙන, වධදී, අතුරුදහන් කිරීමේ අපරාධවලට සම්බන්ධව බවට චෝදනා ලබා සිටියදී ජනාධිපතිවරයා විසින් පදවි පුදන ලද හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්නද එම සභාවේ ජාත්‍යන්තර නියෝජිතයන් සමග එක්ව සිටිනු දක්නා ලදී.