තව දින දෙක තුනකින් එදා සිදු කළ ඝාතන පිළිබඳ හෙළිදරව්වක් සිදු වෙයි-රාජිත

Report
1Shares

රණවිරුවන්ගේ ගෙවල් කූලි දීමනාව, නිල ඇදුම් දීමනාව, සියයට සියයකින් වැඩි කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අද දින(07) ටාජ් සමුද්‍ර හෝටලයේ දී පැවති රණවිරු ප්‍රඥප්තිය එළිදැක්වීමේ මාධ්‍ය හමුව අමතමින්.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “අද මේ ඉදිරිපත් කරන රණවිරු ප්‍රඥප්තියෙන් සිදු කරනු ලබන්නේ මැතිවරණයක දී දේශපාලන නියෝජිතයින් නොයෙකුත් පොරොන්දු දෙනවා. ඒ දුන්න පොරොන්දු මැතිවරණයෙන් පසු දුන්න ලියවිලිවල තීන්ත සමගම වේලිලා යනවා. ඒ නිසා තමයි මේ ප්‍රඥප්ති නැති නම් දිව්රුම් ප්‍රකාශ ලබාදෙන්නේ. ඒක පොරොන්දු පත්‍ර වගේ නොවෙයි. ප්‍රඥප්තියට අත්සන් කරනවා. මේ ප්‍රඥප්තිය අපේ සරත් ෆොන්සේකා මහතාම ලබාදෙන්න එමගින් නව රජයේ ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් මෙය ක්‍රියාත්මක කිරීම පහසු වෙයි.”

“පසුගිය රජයේ හිටපු ආරක්ෂක ලේකම්වරයා රණවිරුවන් නොයෙකුත් ඝාතන ක්‍රියාවලට යොදාගත්තා. තමන් මංකොල්ල කෑ ධනය ආරක්ෂා කිරීමට යොදා ගත්තා. එම රණවිරුවන් අසරණවුණා. අවසානයේ සිරබත් කන්න සිදු වුණා. ඒවාට නියෝග දුන්න අය අධිකරණය අවුරුදු 04ක් මගහැරියා. ඉහළ උසාවි වලට ගියා මෙම තීන්දු වෙනස් කරන්න වෛද්‍ය සහතික දුන්නා. බැරිම තැන විදෙස් ගත වුණා. අහිංසක රණවිරුවන් පවා දිලා හැංගිලා අවසානයේ රජයටම චෝදනා කළා රණවිරුවන් අත්අඩංගුවට ගත්තා කියලා. අත්අඩංගුවට ගත්තේ ආණ්ඩුව නොවෙයි ලැබුණු වාර්තා අනුව අධිකරණය. අධිකරණය අද නිවැරදි තීන්දු තීරණ ලබාදෙනවා. අධිකරණයට අපේ දේශපාලන අතගැසීමක් නැහැ. අධිකරණය කාටවත් උදව් කරන්නේ නැහැ. උදව්කරනවා නම් කරලා තියෙන්නේ ඝෝඨාභය මහතාට. ඔහුගේ ඉල්ලීම් සනාථ කර තිබෙනවා. අපිට විරුද්ධව අධිකරණ තීන්දුවක් ගත්තාම අපි එය හොදින් බාර ගත්නවා. අපි හිතනවා ඒ්ක අපේ ජයග්‍රහණයක් කියලා. අපි ඒ ගැන සතුටු වෙනවා. ඒකයි නිදහස. අද මැතිවරණය පාලනය කරන්නේ මැතිවරණ කොමසාරිස්තුමා ඇතුලු මැතිවරණ කොමිසම. අද සියලු ආයතනවලට නිදහස ලබා දී තිබෙනවා.”

“තමුන්නාන්සේලාට තව දවස් දෙක තුනක් යන විට ලොකු හෙළිදරව්වක් ඇතිවෙයි. මේසිදු වූ ඝාතන ගැන. ඒ ඝාතන කළ පුද්ගලයින් මේ රටට ඇවිල්ලා කියයි. මෙතෙක් මේ ගැන හිතන්න විඥානය නොතිබුන අයට එතකොට විඥානය පහළ වෙයි. ඔවුන් කොච්චර අසරණ වුණාද ඒදුන්න නියෝග අනුව කියලා. ඔවුන් ඒවා කරන්න ගිහින් කොච්චර අසරණ වුණා ද කියලා.එදා යුධ හමුදාපතිවරයා රණවිරුවා යොදා ගත්නේ යුධ ජයග්‍රහණය උදෙසා. තමන්ගේ කටයුතු සිදු කර ගැනීමට නොවෙයි. ඔහුව ජම්පර් අන්දලා හිරගෙදර යැව්වා. එදා රාජපක්ෂවරු මරන්න හිතුන අය මැරුවා, විරුද්ධවාදීන්ට ශාරීරික වධහිංසා කළා. ඒක මේ රටට කළු පැල්ලමක් වුණා. ජාත්‍යන්තරය ඒ සිද්ධින් අහලා අපේ රට කෙළෙසුවා. මෙවැනි කුරිරු වධහිංසා මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදු වෙනවා කියලා කවුරුත් හිතන්නේ නැහැ. මේ රටෙන් පිටස්තර කෙනෙක් මේ රටප්‍රජාතන්ත්‍රවාදී, නිදහස්, ස්වාධීන නීතිගරුක රාජ්‍යක් කියලා පිළිගන්නේ නැහැ.ඒ ඝාතන කරපු අයගෙන් ඒ කථා මම ඇහුවාම මට කෑම කන්න පවා බැරි වුණා. කාන්තාවක් වගේ ඇහුවනම් සිහිසුන්ව වැටෙනවා. මිනිස් සිරුරකට එතරම් වද හිංසා කරන්න පුළුවන් ද, කාගේ වුවමනාවට ද මේවා කළේ. එදා රාජපක්ෂවරුන්ගේ අණ පරිදි නියෝග පරිදි අපරාද සිදු කළ රණවිරුවන් අද කම්පා වෙනවා. දුක් වෙනවා.”

“රණවිරුවන්ගේ ගෙවල් කූලි දීමනාව, නිල ඇදුම් දීමනාව, සියයට සියයකින් වැඩි කළා.කොමාන්ඩෝ දීමනාව සියයට 500 කින් වැඩි කළා. ආහාර දීමනාව 8000 සිට 25,000 දක්වා වැඩි කළා. සිවිල් ආරක්ෂක බලකායේ 50,000 ක් ස්ථිර කළා. සියයට 107 කින් පඩි වැඩිකළා. පොලිසිය දේශපාලන හස්තයට යටවෙලා තිබුණේ. ඉහළ නිලධාරීන්ගේ සිට පහළ නිලධාරින් දක්වා විශාල පීඩනයකට ලක්වෙලා තිබුණා. වැදගත් දේශපාලනඥයින් නොවෙයිනරක දේශපාලනඥයින් නිසා. ඔවුන් තමයි පොලීසි පාලනය කළේ. පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ පුටුව උඩ ඉදලා සමහර වෙලාවට නියෝග දුන්නා. පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ආත්මගරුත්වය නැති කළා. එම යුගය ස්වාධීන පොලිස් කොමිසමක් පිහිටුවලා අපි අවසන් කළා. අද ඔබලාගේ සියලු තීන්දු, තීරණ ගනු ලබන්නේ ආරක්ෂක,පොලීසි අමාත්‍යාංශ නොවෙයි. ස්වාධීන පොලිස් කොමිසම. ඒ මගින් ස්වාධීනත්වය ලබාදුන්නා. වැටුප සහ විශ්‍රාම වැටුප වැඩි කළා. තවත් නොයෙක් දීමනා ලබාදෙමින් පොලීසියට අපි සැළකුවා. 2009 යුද්ධය අවසන් කරලා 2015 වෙනකන් රණවිරුවන්ගේ නම් කියමින් විකිණුවා මිසක් ඔවුන්ට දුන්න කිසිම දෙයක් නැහැ. ඔබලා 30,000 ක පමණජීවිත පරිත්‍යාගයෙන් මේ මාතෘ භූමිය බේරා ගත්තා. එම නිසා තමයි අපි නිදහස භුක්ති විදින්නේ. අද අතපය නැතිව, ආහාර ගන්න බැරිව දුක් විදිනවා.”

“මේ ලබාදෙන රණවිරු ප්‍රඥප්තිය හොදට කියවන්න. එය ඔබලාගේ සහෝදරයින් අතර බෙදාහරින්න. 17 වනිදාට මේ රටේ ජනාධිපතිවන සජිත් ප්‍රේමදාස මහත්මයාම අත්සන් කරලා පොරොන්දු පත්‍රයක් ඔබලාට ලබාදෙනවා. මෙන්න මේ ඉල්ලීම්, සාධාරණ දේවල් ලබාදීමට. 48 සිට සෑම ආණ්ඩුවක ආරක්ෂක අමාත්‍ය ධූරයක් ඔබලාගේ පුද්ගලයෙක් හොඹවා නැහැ. තමන්ගේ අවයව තුන්වරක් දන්දුන්න රණවිරුවෙක් හමුදාපතිව ඉදලා නැහැ. එදා ප්‍රහාර වලට ලක්වෙලා නැවත එපා කියද්දි රණ බිමට ගිහිල්ලා කිසිදු විවේකයකින්තොරව ඔබලාට ආඥාවන් දුන්නා. වෙනදා වැසි කාලයට යුද්ධය නවත්වනවා. සාම කතා වලට යුද්ධය නවත්වනවා. එතුමා ඒවාට ඉඩ දුන්නේ නැහැ. රජයට ඉඩ දුන්නෙත් නැහැ. අපි දන්නවා රජයේ ඇමැතිවරු වශයෙන් ඉන්න කොට මේ ජනාධිපතිවරුන්ට කී සැරයක් විදේශබලවේග වලින් කථා කරන කොට යුධ බිමේ සටන් පෙරමුණ නවත්වන්න හැදුවා ද, ඒවා බැරිවුණා මෙම යුද හමුදාපතිවරයා නිසා. ගෝඨාභයම මට කියලා තිබෙනවා අනේ රාජිත ඇමැතිතුමා ඔින දෙයක් ඔයා කියන්න ෆොන්සේකාට මොනවත් කියන්න අනේ මට නම් බැහැ. කියලා. අන්න එහෙමයි එදා කටයුතු කළේ.”

මෙම අවස්ථාවට ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුලු මැති ඇමැතිවරු,මන්ත්‍රීවරු, ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක ඡ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආබාධිත රණවිරු සංගමයේ නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.