රාජකාරිය දේවකාරිය මෙන් ඉටු කල විජිත ගමනායක

Report
4Shares

පුරා වසර 34 ක් සුරාබදු දෙපාර්තුමේන්තුවේ සේවය කල දකුණු පලාත් භාර සහකාර සුරාබදු කොමසාරිස් විජිත ගමනායක මහතා පසුගියදා (05) සිය ධූරයෙන් විශ්‍රාම ලැබුහ.

රාජකාරිය දේවකාරිය මෙන් සැලකූ ඒ මහතා දේශපාලන බලපෑම් වලට යට නොවී සියළු දෙනාගේ සිත් දිනාගෙන සිය රාජකාරිය ඉටු කළේය.

1985 වසරේ මාර්තු මස 03 දින සුරාබදු පරීක්ෂක වරයකු ලෙස සුරාබදු දෙපාර්තුමේන්තුවට පිවිසෙන විජිත ගමනායක මහතා ගාල්ල, මාතර, හම්බන්තොට, බෙන්තර යන සුරාබදු ස්ථාන වල සුරාබදු ස්ථානාධිපති වරයකු වශයෙන් සේවය කළේය. වසර ගණනාවක් සුරාබදු ස්ථානාධිපති වරයකු ලෙස සේවය කල ඒ මහතා සුරාබදු අධිකාරී වරයකු ලෙස උසස්වීම ලැබීමෙන් පසු මාතර, හම්බන්තොට, බදුල්ල, මොණරාගල සහ කොළඹ යන ප්‍රදේශ වල සුරාබදු අධිකාරී වරයෙකු වශයෙන්ද සේවය කළේය. ඉන් අනතුරුව දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් ලෙස උසස්වීම් ලද විජිත ගමනායක මහතා පසුගියදා සිය ධුරයෙන් විශ්‍රාම ගියේය.

නීති විරෝධි මත්පැන් ජාවාරම තුරන් කිරීම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මත්පැන් නිවාරණ වැඩ සටහන දැඩි ලෙස ක්‍රියාවට නැංවු ඒ මහතා පසුගිය රජය යටතේද මතින් තොර රටක් යන තේමාව යටතේද නීතිවිරෝධි මත්පැන් තුරන් කිරීමට නොපිරිහෙලා කටයුතු කළේය. දේශපාලන බලපෑම් වලට යටනොවී සිය නිලධාරීන්හට දෙමාපියකු මෙන් පිහිට වී කිසිම නිලධාරියකුට පහර නොගහා රාජකාරී කල විජිත ගමනායක මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගියද කිසිවකුට එම චරිතය සිතින් අමතක නොවනු ඇත.

සුරාබදු දෙපාර්තුමේන්තුවේ උන්නතිය වෙනුවෙන් සේවය කල විජිත ගමනායක මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් පසුගියදා ගාල්ල සුරාබදු ස්ථානයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විශ්‍රාම හරසර උත්සවයක්ද පැවැත්විණ. එහිදී විජිත ගමනායක මහතාට ගාල්ල හා මාතර සුරාබදු අධිකාරී වරුන්ගේ අධීක්ෂණය යටතේ ගාල්ල සුරාබදු ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ඩී.සී.සේනාධීර මහතා ප්‍රමුඛ නිළධාරීන් ආචාර පෙලපාලියක් පැවැත්වුහ.