අපේ ජයග්‍රහණය ස්ථිරයි

Report
1Shares

ජනාධිපතිවරණයේදී ලබාගත් විශිෂ්ට ජයග්‍රහණය අනුව ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව තරග කිරීම වඩා සුදුසු යැයි ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

සන්ධානයක් වශයෙන් මහමැතිවරණයට ඉදිරිපත්වන බවත් එහිදී පොහොට්ටුව සලකුණ ඉවත් කිරීමට අවශ්‍යතාවක් පැන නොනඟින බව නව අමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව අද (01) මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

"පොහොට්ටුව සලකුණ අපට පමණක් පොදු සලකුණක් යැයි විශ්වාස කළ යුතු නැහැ. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද දායකත්වයක් ලබා දුන්නා" යැයි කී අමාත්‍යවරයා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

"ඉදිරි මහ මැතිවරණයේදී කිසිදු පක්ෂයක් සමග කොන්දේසි විරහිතව එක් වීමට අප කටයුතු කරන්නේ නැහැ. අපේ ජයග්‍රහණය ස්ථිරයි. ජයග්‍රහණය කළපසු කොන්දේසි ක්‍රියාත්මක කළ යුතුයි. ඒ නිසා සහයෝගය ලබා ගැනීමට පෙර කොන්දේසි මොනවා දැයි නිසියාකාරව පරික්ෂා කිරීම කළ යුතු වෙනවා. මෙවර ජනාධිපතිවරණයේදී සුළුපක්ෂ රාශියක් අපට සහයෝගය ලබා දුන්නා. වෙනසක් අවශ්‍යය යන කාරණය ජනතාව ඔප්පුකළා. ඒ නිසා ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අභියෝගයක් නොවනු ඇති. පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව අපේක්ෂා කළේ ජනාධිපතිවරයා වෙනස් කිරීමට පමණක් නොව එම රජය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමටයි. සුළුතර රජයක් වන අපට අපගේ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී බහුතර රජයක් අවශ්‍ය වන බව" අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.