අප විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගනිමින් ස්ථාවර පාර්ලිමේන්තුවක් සකස් කරනවා

Report
1Shares

එල්ලෙන්නට වැල් නොමැති පක්ෂ සමඟ දේශපාලනය නොකර දැවැන්ත සංවර්ධනයක් කරා රට ගෙන යා හැකි නව ආණ්ඩුව සමඟ සෙසු සුළු ජාතික පක්ෂ එක්වන ලෙස අයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු ජාතීන් හා එක්ව රට සංවර්ධනය කරා ගෙන යන අවස්ථාවක දෙමළ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා සුළු ජාතික පක්ෂ ඒ වෙනුවෙන් එක්වීම වඩා සුදුසු යැයි ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා, මල්වතු හා අස්ගිරි පාර්ශවයන්හි මහා නායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා මේ බව කීවේය.

"වර්ෂ 1994දී පරාජයට පත්වුණු එක්සත් ජාතික පක්ෂය වර්ෂ 2015 වන විට වසර දෙකක කාලයක් පමණක් ආණ්ඩු බලය ලබාගත්තා. ඉන් පසු වර්ෂ 2015දී බලයට පත්ව වසර හතරක් ආණ්ඩු කළා. බලය හිමිව තිබුණු කාලයේදී රටට තබා ඔවුන් ඔවුන්ගේ පාක්ෂිකයන්ටවත් සේවයක් කළේ නැහැ. අද එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ට ඒ බව වඩා හොදින් අවබෝධ වී තිබෙනවා" යැයි කී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

"රට තුළ ජාති භේදය ඇවිස්සී ජාතික ආරක්ෂාව අනාරක්ෂිත තත්ත්වයට එම පාලන කාලය තුළ දී සිදුවුණා. හෙට දිනය පිළිබඳව කිසිදු බලාපොරොත්තුවක් තබා ගන්න බැහැ. ණය හා බදු බරින් පිරිහී ඇති අවස්ථාවක අයෝජකයන් පැමිණෙනවාට වඩා වේගයෙන් රට අත හැර දා යනවා. එවැනි පසුබිමක් නිර්මාණය කිරීම නිසා පාක්ෂිකයන් දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිනවා. කැපුවත් කොළ යැයි කියමින් පක්ෂ දේශපාලනයේ එල්බ ගෙන සිටින පාක්ෂිකයන්ට අද එක්සත් ජාතික පක්ෂයෙන් සිදුවූ සෙතක් නොමැති බව අවබෝධ වීම නිසා ඉදිරි මහ මැතිවරණයේදී විශාල පිරිසක් පක්ෂය අතහැර අප සමඟ එක්වේවි. ජනාධිපතිවරණයේදී ලක්ෂ පනස් පහක ඡන්ද ලබා ගත් එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදී ඡන්ද ලක්ෂ හතළිහක්වත් ලබා ගනීවි දැයි විශ්වාස කරන්න බැහැ. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී අප විශිෂ්ඨ ජයග්‍රහණයක්ලබා ගනිමින් ස්ථාවර පාර්ලිමේන්තුවක් සකස් කරනවා.

රටේ ජාතික ආරක්ෂාව මේ වන විටතහවුරු වී ඇති අවස්ථාවක ආයෝජන හා සංචාරක කර්මාන්තය ඉහළ නංවා ගැනීම අප අපේක්ෂා කරනවා. මෙරට ආරම්භ කරන ලද දැවැන්ත ව්‍යාපෘති අතරින් අතිශය ලාභදායී ව්‍යාපෘති වශයෙන් නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය සහ දක්ෂිණ අධිවේගී හදුන්වන්න පුළුවන්.ඒ නිසා තව දුරටත් ණය පදනම නොමැතිව මෙවැනි සංවර්ධන ව්‍යාපෘති අපට ආරම්භ කරන්න පුළුවන්. මහනුවරට හිමි දැවැන්ත සම්පතක් වශයෙන් බෝගම්බර බන්ධනාගාර භූමිය හදුන්වන්න පුළුවන්. එම බන්ධනාගාරය පල්ලකැලේට ගෙන යා යුතු යැයි කියා ඊ.එල්.සේනානායක මහතාගේ ධූර කාලයේදී පවා ප්‍රකාශ කළත් අපේ ආණ්ඩුව හැර වෙනත් ආණ්ඩුවක් එය ගෙන ගියේ නැහැ. පසුගිය කාලයේදී එක්සත් ජාතික පක්ෂය පැරණි බන්ධනාගාර භූමිය ප්‍රතිසංස්කරණය කළ බව කීවත් එහි සාධනීය බවක් පෙනෙන්නට නැහැ. ඉකුත් අවුරුදු පහක කාලය තුළ මහනුවරට සාධනීය සංවර්ධනයක් සිදුවී නැහැ. බෝගම්බරපැරණි බන්ධනාගාර භූමිය ඓතිහාසික බව සුරක්ෂිත කරමින් වඩාත් ඵලදායි කටයුත්තක් වෙනුවෙන් යොදා ගැනීම සඳහා ක්‍රියාකරන බවත් ඒ පිළිබඳව ඉදිරි සතියේදී මහා නායක හිමියන් දැනුවත් කරන බව" රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.