වලපනේ නායයාමෙන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට

Report
1Shares

නුවරඑළිය වලපනේ මුන්වත්ත මලපට්ටාව ප්‍රදේශයේ නායයෑමෙන් අතුරුදන්ව සිටි එකම පවුලේ තිදෙනෙකු සහ ඔවුන්ගේ ඥාති දියණියකගේ මළ සිරුරු ඊයේ (01) සොයාගත් බව පදියපැලැල්ල පොලීසිය පවසයි.

අතුරුදන්ව සිටියදී සොයාගනු ලැබුවේ, ජී.ජී. රන්බණ්ඩා (අවු. 51), කේ.ජී. බිසොමැණිකා (අවු.48), ජී.ජී. කලන පැතුම් (අවු.15) නැමැත්තන් සහ ඔවුන්ගේ ඥාති දියණියක වන 17 හැවිරිදි කේ.එම්.ජී.ජී. දිනේෂා කරුණාරත්නයි.

වලපනේ ප්‍රදේශයට පෙරේදා (30) රාත්‍රියේ ඇදහැළුණු අධික වර්ෂාවත් සමග වලපනේ - මහනුවර ප්‍රධාන මාර්ගයේ මුන්වත්ත, මලපට්ටාව ප්‍රදේශයෙන් නායයාම හේතුවෙන් ප්‍රධාන මාර්ගයට පහළින් වූ නිවසක් සම්පූර්ණයෙන්ම යටවී, එම නිවසේ පදිංචිව සිටි අඹුසැමි යුවළක් සහ පුත්‍රයාත්, ඔවුන්ගේ ඥාති දියණියකත් අතුරුදන්ව සිටි බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.

අතුරුදන්ව සිටි යුවළගේ සහ ලබන වසරේ උසස්පෙළ විභාගයට පෙනීසිටීමට නියමිතව සිටි ඥාති දියණියගේ සිරුර අතුරුදන්වුවන් සොයා මෙහෙයුමේ නිරතව සිටින නුවරඑළිය යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ඊයේ (01) උදෑසන සොයාගත් බවත්, අද(02) පැවැත්වෙන අ.පො.ස. සා.පෙළ විභාගයට පෙනීසිටීමට නියමිතව සිටි සිසුවාගේ සිරුර එදින සවස සොයාගත් බවත් පොලීසිය සඳහන් කරයි.

නුවරඑළිය යුධ හමුදා කදවුරේ අණදෙන නිලධාරින් මේජර් අසිත රණතිලක මහතාගේ මෙහෙයවිම යටතේ නුවරඑළිය තුන්වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ පනහකින් සමන්විත භට පිරිසක් මෙහෙයුමට එක්වී සිටින බව දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේය.