" Tell Minister" නිල ෆේස්බුක් පිටුව ඇරඹේ

Report
3Shares

තම ප්‍රදේශයේ ඇති ඕනෑම ගැටළුවක් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාවන දත්ත ගබඩාවක් (Data Base) වශයෙන් Tell Minister නිල ෆේස්බුක් පිටුව ඊයේ(09) ආරම්භ විය.

වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අදාළ ෆේස්බුක් පිටුව ආරම්භ විය.

එමගින් තම ප්‍රදේශ වල පවත්නා මහා මාර්ග ගැටළු සහ මහා මාර්ග භාවිත කිරීමේ දී මහජනතාවට සිදුවන හිරිහැර මෙන්ම ඔවුන් විඳින අපහසුතා ඍජුවම Ministry of Roads and Highways පිටුව යටතේ ඇති Tell Minister සේවාව ඔස්සේ අමාත්‍යවරයා වෙත පැමිණිලි කිරීමේ අවස්ථාව උදාවනු ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මාර්ග, අධිවේගී මාර්ග සම්බන්ධයෙන් ඇති ඕනෑම ගැටළුවක් මෙමගින් ඍජුවම අමාත්‍යවරයාගේ අවධානයට යොමු කිරීමේ හැකියාවක් පවතී.

ඒ අනුව ගමනාගමනයේ දී පදිකයින් මුහුණ පාන ගැටළු, රිය පැදවීමේ දී රියදුරන් මුහුණ පානමාර්ග සංඥා සම්බන්ධ ගැටළු, ආලෝක සංඥා පද්ධති සම්බන්ධ ගැටළු මෙන්ම රට තුළ විනයවත් මහා මාර්ග පද්ධතියක් බිහිකිරීමට බාධාවක් වන රියදුරන්, පදිකයින් හා ආයතන මෙන්ම විවිධ සංවිධාන පිළිබඳව ද අමාත්‍යවරයාගේ අවධානයට යොමුකළ හැකිවීම මෙහි විශේෂත්වයක් වනු ඇත.

කාර්යක්ෂම රාජ්‍ය සේවයක් මහජනතාව වෙත ලබාදීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පය ශක්තිමත් කරමින් ජොන්ස්ටන් අමාත්‍යවරයා මෙම පියවර තැබීය.