ලයන් එයාර් යානයක් මගීන් 285ක් සමඟ කටුනායකට හදිසියේ ගොඩබස්වයි

Report
1Shares

ගුවන් මගීන් 285ක් රැගෙන සෞදි අරාබි ජෙඩාහි සිට ඉන්දුනීසියාවේ සුරබයා දක්වා පියාසර කළ තායිලන්ත ලයන් එයාර් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අද(13) අලුයම හදිසියේම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වා තිබේ.

ඒ, මගීන් දෙදෙනෙකු අසනීප වූ බව පවසමින්.

යානයේ සිටි අදාළ මගීන් දෙදෙනාට ප්‍රථිකාර ලබා දීම සඳහා ගුවන් යානය එසේ ගොඩබස්වා ඇති අතර වෛද්‍යවරුන් විසින් මගීන් දෙදෙනා පරීක්ෂා කරන අවස්ථාවේදීත් ඔවුන් මිය ගොස් සිට ඇති බවයි වාර්තා වූයේ.

කෙසේනමුත් මෙලෙස මිය ගොස් ඇත්තේ ඉන්දුනිසියානු ජාතික 71 හැවිරිදි කාන්තාවක් සහ 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

පසුව ඔවුන්ගේ මළ සිරුරු අද පෙරවරු 7.40 ට පමණ ගුවන් යානයෙන් ඉවත් කර මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර තිබේ.

පරීක්ෂණවලින් අනතුරුව අදාළ සිරුරු මෙරට ඉන්දුනීසියානු තානාපති කාර්යාලයට භාරදීමට නියමිතයි.

ගුවන් යානය අභ්‍යන්තරය පිරිසිදු කිරීමෙන් පසුව ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගෙන පෙරවරු 8.45 ට පමණ නැවතත් ගුවන් යානය ඉන්දුනීසියාව බලා පිටත්ව යන ලදි.