ලංගමට අළුතින් බස් 2500 ක් -ඇමති මහින්ද අමරවීර

Report
1Shares

ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් අණියට මේ වසර අවසන් වීමට පෙර අලුතින් බස් රථ 2500ක් එකතු කිරීමට ඉළක්ක කර ඇතැයි ප්‍රවාහන සේවා කළමනාකරණ ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ලංකා ගමනා ගමන මණ්ඩලය සතුව බස්රථ 6000 ක් තිබුණද ඉන් ධාවනය කල හැක්කේ බස්රථ 2000 ක් පමණක් බවට තොරතුරු හෙලිවි ඇත.

මීතොටමුල්ල ඩිපෝවේ පසුගිය සිකුරාදා හදිසි පරිකෂාවකට ලක් කල අවස්ථාවේදී එහි බස් රථ 75 ක් තිබු අතර එයින් ධාවනය කල හැකි බස්රථ තිබෙන්නේ 50 ක් පමණකිබවට තොරතුරු අනාවරණය විය.ඉනුත් රියදුරු කොන්දොස්තර හිගය නිසා එක් දිනකට ධාවනය කල හැක්කේ බස්රථ 29 ක් ,30 වැනි ප්‍රමාණයකි.රියදුරු කොන්දොස්තර වරුනට උසස්වීම් හා ස්ථාන මාරුවීම් ලබාදිම නිසා බස්රථ ධාවනය කළ නොහැකි තත්ත්වයක් උදාවී ඇති බැවින් නැවත දැණුම්දෙන තුරු රියදුරු ස්ථාන මාරුවීම් තාවකාලිකව අවලංගු කරන්නැයි ඇමතිවරයා ලංගම සභාපති කිංස්ලි රණවක මහතාට උපදෙස් දුන්නේය.

මීතොටමුල්ල බස් ඩිපොවට අයත් ඉඩමෙන් අඩක්ම කැලයෙන් වැසී තිබු අතර සේවකයින් පිරිසක් ඇමතිවරයා එන බවට ලද තොරතුරු අනුව ලහි ලහියේ පිරිසිදු කරමින් සිටිනු දැක එම පිරිස අගය කළේය.

අනතුරුව අදහස් දැක්වු ඇමතිවරයා කියා සිටියේ,‘‘ලංගම ගොඩ ගැනීමට රජය විශේෂ වැඩසටහන් රැසක් අරබා ඇති බවයි.ඒ අනුව බස්රථ 500 ක් වහාම මිලදී ගැනීම සදහා පසුගිය සතියේ ඇමතිමණ්ඩලයට ඉදිරිපත්කල සංදේශයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.ඉන් බස්රථ 400 ක් ආසන 36-56 දක්වා වන අතර ,අනික් බස්රථ 100 ආසන 26 යේ බස්රථ වේ. එමෙන්ම නාගරික ප්‍රදේශවල කාපට් අසුරා සංවර්ධනය කර ඇති බැවින් මෙ වසර අවසන් වනවිට පතුල් සහිත බස් රථ Low Floor Busses 2000ක් ලංගමට ලබා ගැනීම සඳහා සාකච්ඡා කර තිබේ. ඒ අනුව මෙම වසර අවසන් වනවිට ලංගම බස් ඇණියට අලුතින් බස් රථ 2500ක් එකතු කිරීමට ඉළක්ක කර ඇත.දැනට අප රටේ භාවිතා කරන බස් බහුතරයක්, බස් රථ නොව ලොරි වැසිවලට බස් බොඩි ගසා සකස් කළ ඒවායි. ඒවා කිසිසේත්ම මගී ප්‍රවාහනයට උචිත නොවේ.. එබැවින් ඉදිරි කාලය තුළ පුද්ගලික අංශයට වුවද , බස් රථ මිලදී ගැනීමේ දී අනුමැතිය ලබා දෙන්නේ බස් රථවලට විනා ලොරි චැසිවලට බස් බොඩි ගැසූ බස් රථවලට නොවේ. .එමෙන්ම දැනට ලංගම ඩිපෝ සියල්ලම ගත් කළ ඒවායේ වැඩකටයුතු විදිමත් නොවේ. ඩිපෝ අධිකාරිවරුන් තම බස් ඩිපෝවේ සංවර්ධනයට නායකත්තවය ලබා දීමේ දී සියලු පාර්ශ්ව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට පියවරගත යුතුයි. ඇතැම් ඩිපෝවල ඇති මකුළු දැල්වල ඉතිහාසය වසර 50 කටත් එහා බව පැවසූ ඇමතිවරයා තමන් සේවය කරන ස්ථානය පිරිසිදුව තබා ගැනීම රජයෙන් සිදු කරන තෙක් බලා නොසිට එම කටයුතු තම කණ්ඩායම මගින් සිදු කර ගැනීමට හැකියාව තිබිය යුතු යැයි ‘‘ ද සඳහන් කළේය.