බාගෙට ඉදිකළ පාසල් ගොඩනැගිලි කඩිනමින් අවසන් කෙරේ-ඇමති ප්‍රසන්න

Report
1Shares

ඉදිකීරිම් අතරමග නතර කර ඇති පාසල් ගොඩනැගිලි කඩිනමින් අවසන් කිරිමට රජයේ අවධානය යොමු වේ. ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරියේ දි ලබා දීමට කටයුතු කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් සමග පසුගිය දා පැවති සාකච්ඡාවක දි රණතුංග මහතා මේ බව සදහන් කළේය. සාකච්ඡාව මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දි පැවැත්විණ.

ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙහි දි පෙන්වා දුන්නේ, පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ වැඩ ආරම්භ කළ පාසල් ගොඩනැගිලි බොහොමයක් තවමත් වැඩ අවසන් ව නොමැති බවයි. පසුගිය යහපාලන ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් බවත් මේ නිසා එම පාසල් වල දරුවන් ඔවුන්ගේ දෙමව්පියන් මෙන් ම ගුරු මහත්ම මහත්මීන් ද දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින බවත් ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි පෙන්වා දුන්නේය.

‘‘ නිදහස් අධ්‍යාපනය කියන්නේ මේ රටේ ජනතාවගේ අයිතියක්. ඒ බව අපි රජයක් ලෙස, රජයේ ප්‍රතිපත්තියක් ලෙස පිළි ගන්නවා. ඒ නිසා නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තව දුරටත් සුරක්ෂිත කර ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි .ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රට හදන සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්තිමය වැඩසටහන මගින් ද මේ බව අවධාරණය කර තිබෙනවා.පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ රටක සංවර්ධනය ලත්තැනම ලොප් වුණා. එය පාසල් වලට ද පොදු තත්ත්වයක්. මම දන්නවා අපේ ආණ්ඩුව කාලයේ අපි ප්‍රමුඛත්වය දුන් එක් ක්ෂේත්‍රයක් තමයි අධ්‍යාපනය. අධ්‍යාපනයට අයවැයෙන් 6%ක් වෙන් කරනවා කියලා බලයට පැමිණි යහපාලන ආණ්ඩුව පසුගිය කාලයේ කළේ දරුවන්ගේ අධ්‍යාපනයට කෙනෙහිලිකම්මයි. ‘‘ලගම පාසල හොදම පාසල කියලා‘‘ව්‍යාපෘතියක් කළා. ඒ ව්‍යාපෘතිය සම්පුර්ණයෙන්ම අසාර්ථකයි. ග්‍රාමීය පාසල් ගණනාවක් පසුගිය යහපාලන රජය සමයේ වැසී ගියා. පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නතරකර දැමු කොළඹට කිරි ගමට කැකිරි ප්‍රතිපත්තිය පසුගිය යහපාලන ආණ්ඩුව නැවත ක්‍රියාත්මක කළා. අපේ ආණ්ඩුව දරුවන්ගේ අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දෙන ආණ්ඩුවක්. මොකද අපි දන්නවා මේ රටේ අනාගතය දරුවන් කියලා. මේ අනාගත පරපුරට සුරක්ෂිත රටක් නිර්මාණය කිරිම අපේ ඉලක්කයයි . දරුවන් ඉන්න හැමකෙනෙකුගේම සහාය අපි ඒ වෙනුවෙන් ඉල්ලනවා‘‘ යැයිද මෙහිදී පැවසුවේය.

මිනුවන්ගොඩ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂක වජිර රණරාජා මහතා දා මෙහි දි අදහස් දැක්වුහ.