අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමේ සැලසුමක් - පෙරටුගාමීන්ගෙන් චෝදනා

Report
3Shares

වත්මන් ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමේ නව සැලසුම් ලෙස 'නිදහස් අධ්‍යාපන ආයෝජන කලාප' පිහිටුවීමට සැරසෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරනවා.

මේ අතර උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරිමේ කෙටුම්පත් තුනක් අමාත්‍යමණ්ඩල අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති බවයි පැවසෙන්නේ.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා කොළඹ ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව අනාවරණය කළා.

මේ පිලිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු පුබුදු ජාගොඩ මහතා,

"ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය පෞද්ගලීකරණය කිරීමේ දීර්ඝ කාලීන උත්සාහය අනුගමනය කරමින් අධ්‍යාපනය විකිණීමේ නව වැඩපිළිවෙළක් ආණ්ඩුව විසින් සැලසුම් කරමින් තිබෙනවා.

මේ යටතේ නිදහස් අධ්‍යාපන කලාප නම් කරමින් ඒ තුළ අධ්‍යාපනය විකිණීමේ ආයතන ස්ථාපිත කිරීමට ආණ්ඩුව විසින් සැලසුම් කරමින් තිබෙනවා.

මේ සම්බන්ධව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමති බන්දුල ගුණවර්ධන විසින් 2019 දෙසැම්බර් 24 ඉදිරිපත් කළ කැබිනට් සංදේශ තුනකින් තොරතුරු අනාවරණය වී තිබේ.

2019/30 කැබිනට් සංදේශය තුළින් ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය පෞද්ගලිකකරණය කිරීමේ අරමුණින් නිදහස් අධ්‍යාපන කලාපයක් ඇතිකිරීමට යෝජනා කරනවා.

1978 විවෘත ආර්ථිකය නමින් හඳුන්වාදුන් වෙළඳපොළ කේන්ද්‍ර කරගත් ප්‍රතිසංස්කරණවලදි නිදහස් වෙළඳ කලාප පිහිටුවනු ලැබූ බව අපි දන්නවා. කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් රටපුරා ක්‍රියාත්මක වූ කම්කරු නීතිවලින් නිදහස් කළ විශේෂ ආර්ථික කලාප, ආයෝජන ප්‍රවර්ධන කලාප ලෙස කටුනායක, බියගම, කොග්ගල වැනි ස්ථාන ගණනාවක ආරම්භ කළා.

ඒවා තුළ කිසිදු කම්කරු අයිතිවාසිකමක් සුරක්ෂිත නැති බරපතළ ශ්‍රම සූරාකෑමක් හා අමානුෂික සේවා කොන්දේසි පවතිද්දි රටේ නීතියට අනුව ඒ කම්කරුවන්ට කිසිදු ආරක්ෂාවක් හිමි වුනේ නෑ. අවම වශයෙන් වෘත්තිය සමිතියක සාමාජිකත්වය ගන්න, සාමුහිකව කේවල් කිරීමේ අයිතිය හිමිවුණේ නෑ.

මේ ආණ්ඩුව විසින් නිදහස් අධ්‍යාපන කලාප ඇතිකරමින් ජේ.ආර්. කළ දේ දෙවැනි පියවර ලෙස අධ්‍යාපනය විකිණීමේ සැලැසුමක් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. අධ්‍යාපනය සඳහා ආයෝජන ගෙන්වාගෙන අධ්‍යාපනය වෙළඳපොළකරණය කිරීමේ අරමුණ ඇතිව ආණ්ඩුව කටයුතු කරනවා.

''නැගී එන දකුණු හා ආසියාවේ ආර්ථිකයන් ඉලක්ක කරගත් නිදහස් අධ්‍යාපන ආයෝජන කලාපයක් මෙරට ස්ථාපනය කිරීම" කියන මාතෘකාවෙන් මේ කැබිනට් සංදේශයේම සඳහන්වන ආකාරයට, හොරණ මිල්ලෑව ප්‍රදේශයේ තියෙන අක්කර 700ක් පමණ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් මේ සඳහා වෙන්කර තිබෙන බව සඳහස්.

කැබිනට් අනුමැතිය ඉල්ලා තිබෙන්නේ අධ්‍යාපන ආයෝජන කලාපයක් සඳහා වෙන් කරන්න, අධ්‍යාපනය සම්බන්ධ රටේ පවතින නීතියෙන් පරිබාහිරව ඒ කලාපය පවත්වාගෙන යන්න සහ ඒ කලාපයට අවශ්‍ය යටිතල පහසුකම් සැපිරීමට ප්‍රතිපාදන වෙන්කරන්නයි.