වීරකැටිය නිවසේ දානමය පිංකමට ජනපති එක් වෙයි

Report
3Shares

මහා සංඝරත්නය එක්දහස් පන්සිය නමක් විෂයෙහි සංවිධානය කෙරුණු මහා සංඝගත දක්ෂිණාවක් ඊයේ(23) දහවල් වීරකැටිය නිවසේ දී පැවැත්විණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පවුලේ ඥාතීහු ඊට එක්ව සිටියහ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ විහාරස්ථානවල මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවති දානමය පුණ්‍ය කර්මයට සිතුල්පව්ව ‍රජමහා විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන, ඓතිහාසික කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොඹවක ධම්මින්ද, තිස්සමහාරාම රජමහා විහාරාධිපති ආචාර්ය දේවලේගම ධම්ම සේන, තංගල්ල වගේගොඩ රන්කොත්මලු විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ඉත්තදෙමළියේ පඤ්ඤාසාර, ඓතිහාසික කසාගල රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය තලම්පොරුවේ ඉන්ද්‍රසිරි යන ස්වාමීන් වහන්සේලා ද, අනුරාධපුර, මිරිසවැටිය රජමහා විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක, නාරාහේන්පිට අභයරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවෙ ආනන්ද, කොලඹ ගංගාරාම විහාරවාසී අචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි යන ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියහ.

මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කරමින් සිතුල්පව්ව ‍රජමහා විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළේ අඳුරට ගමන් කරමින් තිබූ රට නිවැරදි මගට ගැනීමට ජාතියේ පිනට නායකත්වයට පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මේ රට සුඛිත මුදිත කිරීමට ශක්තිය තිබෙන බවයි.

එම වැඩපිළිවෙළට මහා සංඝරත්නයේ නිරන්තර ආශිර්වාදය සහ අනුශාසනාව හිමිවන බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.