විවිධ හිරිහැර, කරදරවලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46ක් යළි මෙරටට

Report
1Shares

කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී, එරට නිවෙස් හිමියන් වෙතින් විවිධ හිරිහැර, කරදරවලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනෙකු අද(14)දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

ඒ, උදෑසන 6.20 ට කුවේටයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 230 දරන ගුවන් යානයෙන්.

ඔවුන් සේවය සඳහා ගොස් සිටි නිවෙස් හිමියන්ගෙන් සිදු වන හිරිහැර, කරදර තවදුරටත් ඉවසා ගෙන සිටීමට නොහැකි නිසාවෙන් ඔවුන් එම නිවෙස්වලින් පැන යමින් සිටියදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙයින් 13 දෙනෙකු කුවේටයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රඳවා තබාගෙන සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් වන අතර අනෙක් 33 දෙනා කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ " සුරක්ෂා" රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටි අය වෙයි.

කෙසේනමුත් ඔවුන් විසින්ම ලබා ගත් ගුවන් ප්‍රවේශ පත්‍ර මඟින් සහ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ මෙම මෙම ගෘහ සේවිකාවන් පිරිස ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර මොවුන් අතරින් වැඩි පිරිසක් අනුරාධපුරය සහ පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචිකාරියන් විය.

එම පිරිස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ, ගුවන් තොටුපළ කාර්යාලයේ මේ පිළිබඳව පැමිණිළි කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ නිවෙස් බලා පිටත්විය.